ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි

දිනය : 2022-09-08

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 81 කින් සම්මත විය.

ජාතික ජනබලවේගයේ නායක ගරු අනුර කුමාර දිසානායක මහතා දෙවනවර කියවීම අවසානයේ ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව 91ක්ද  විපක්ෂව ඡන්ද 10ක්ද  හිමිවිය.

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර අනතුරුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදී. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ. මෙම බද්දෙන් අපේක්ෂිත ආදායම වසරකට රු. බිලියන 140 කි.

පනත් කෙටුම්පත 2022 ජූනි 21 වැනි දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර එය ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2022 ජූලි 06 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ.

http://documents.gov.lk/files/bill/2022/7/219-2022_S.pdf

 

මීට අමතරව අද පාර්ලිමේන්තුවේදී කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 සහ 132), කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත විවාද කිරීමකින් තොරව අද පෙරවරුවේ සම්මත කර ගැනිණි.

2022.07.04 දින ගැසට් පත්‍රයේ පළ කරන ලද (131 අධිකාරිය වූ) කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත තුළින් ප්‍රධාන අධිකාරියේ 46 වන වගන්තිය සංශෝධනය කිරීම සිදුවේ.

මේ අනුව මුල් පනතේ සඳහන් පරිදි යම් බලයලත් නිලධාරියෙකු, බේරුම්කරුවෙකු, කාර්මික අධිකරණයක් හෝ කම්කරු විනිශ්චය අධිකාරයක් හෝ කොමසාරිස් විසින් පනතට අදාළව ගන්නා නීති කටයුත්තකදී එම පාර්ශ්වයන් වෙනුවෙන් ඔහුගේ නියෝජිතයෙකුට ක්‍රියා කිරීමට හැකියාව තිබුණු අතර, නව සංශෝධනය තුළින් එවැනි නීති කෘත්‍යයකදී නීතීඥවරයෙකු හෝ නියෝජිතයෙකුට ද එම පාර්ශ්ව නියෝජනය කිරීමට විධිවිධාන සලසා ඇත.
පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ.

http://documents.gov.lk/files/bill/2022/8/239-2022_S.pdf


(131 අධිකාරිය වූ) කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම සඳහා 2022 ජුනි මස 22 වන දින ගැසට් පත්‍රයේ පළකරන ලද පනත් කෙටුම්පත තුළින් මේ කම්කරු විනිශ්චය අධිකාරියක ආඥාවකට එරෙහිව මහාධිකරණයකට අභියාචනාවක් කර ඒ සම්බන්ධයෙන් කම්කරුවන්ට දෙනු ලබන තීන්දුව කෙරෙහි අතෘප්තියට පත් වුවහොත්, සේවායෝජකයෙකුට එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් කළ හැකි අතර, එම අවස්ථාවේදී ඇප මුදලක් තැන්පත් කිරීම අවශ්‍යතාව ඇතුළු සංශෝධන සිදුකොට ඇත.

පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ.

http://documents.gov.lk/files/bill/2022/8/240-2022_S.pdf

 

කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් කම්කරු කොමසාරිස්වරයා විසින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීමට යම්කිසි කෙනෙකු අපොහොසත් වුවහොත් මහෙස්ත්‍රාත් ඉදිරිපිට පැවැත්වෙන නඩු විභාගයකින් පසු වරදකරුවකු වූ විට ඊට  අදාළව කලින් පැවති රුපියල් දහසකට නොවැඩි දඩය රුපියල් විසිදහසකට නොවැඩි දඩයක් ලෙස වැඩි කිරීම ඇතුළු සංශෝධන සිදුකොට ඇත.

පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ.
http://documents.gov.lk/files/bill/2022/8/242-2022_S.pdf

 

අද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න යටතේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය අතර ඇති කරගත් කාර්ය මණ්ඩල ගිවිසුම රටට අනාවරණය කළයුතු බැව් පවසා සිටියේය.  අනතුරුව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) පිළිබද විවාදය ප.ව. 5.30 දක්වා පැවැත්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සිදුවිය. ඉන්පසු පාර්ලිමේන්තුව හෙට (09) පෙ.ව. 9.30 දක්වා කල්තැබිණි.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි