ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දකුණු ආසියාවේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන්ට මුහණ දී සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව 02 වැනි තැනට පත්ව තිබෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න

දිනය : 2022-09-06

ගෝලීය ළමා මන්දපෝෂණ තත්ත්වයන් ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් උසට සරිලන බර නොමැති වීම මත ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයට පත්ව ඇති බවත්, දකුණු ආසියාවේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන්ට මුහණ දී සිටින රටවල් අතරින් 02 වැනි ස්ථානයට පත්ව ඇති බවත් පසුගිය දිනෙකදී  යුනිසෙෆ් සංවිධානය විසින් වාර්තා කර තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ ළමයින් සහ මව්වරුන් අතර මන්දපෝෂණය” මැයෙන් සභාව කල් තැබීමේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමිනි.

රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම මෙන්ම දිනෙන් දින ජනතාවට දරාගත නොහැකි අන්දමින් ආහාර මිල ඉහළ යාම මීට හේතු වී ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරිය  එයින් වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු පහට අඩු ළමුන් බවද අවධාරණය කළාය.

උසට සරිලන බර නොමැති වීම සහ වයසට සරිලන උස නොමැතිවීම වයස අවුරුදු පහට අඩු දරුවන් අතර බහුලව පවතින තත්ත්වයක් බව පසුගිය කාලය තුළ වාර්තාවී ඇති අතර මෙම තත්ත්වය ඉදිරියට පැවතියහොත් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම අධ්‍යාපන කටයුතු අඩාල විය හැකි බවද කවිරත්න මහත්මිය පැවසුවාය.

ඒ නිසා, මේ පිළිබඳ සලකා බලා දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා වූ විධිමත් වැඩපිළිවෙළක් රජය විසින් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවද සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරිය යෝජනා කර සිටියාය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි