විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වේ

දිනය : 2022-09-02

Print

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව අද (02) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙහිදී විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 115කින් සම්මත වූ අතර, මීට පක්ෂව ඡන්ද 120 ක් ද, විපක්ෂව ඡන්ද 05ක් ද, හිමි විය. එසේම මන්ත්‍රීන් 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර  දිසානායක මහතා මෙසේ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර, ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වුණි.

ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව පසුගිය අගෝස්තු 30 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර ඉන් අනතුරුව විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පසුගිය අගෝස්තු 31 සැප්තැම්බර් 01 සහ අද දින පැවැත්වුණි.