ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අගෝස්තු 30 වැනිදා

දිනය : 2022-08-24

  • “විදුලිබිල විශාල ප්‍රතිශතයකින් වැඩිවීම නිසා මහජනතාවට මුහුණදීමට සිදුවන දුෂ්කරතා” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය 29 වැනිදා...

 

ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව අගෝස්තු 30 වැනිදා සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (24) පෙරවරුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව අගෝස්තු 30 වන දින පාර්ලිමේන්තුව ප.ව. 1.00 ට රැස්වීමට නියමිත අතර ප.ව. 1.00 සිට 2.00 දක්වා ගරු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පසුදින දක්වා කල්තබන අතර අගෝස්තු 31, සැප්තැම්බර් 1 යන දිනවල පෙ.ව. 9.30 සි‍ට ප.ව. 5.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දිවා ආහාර විවේකයකින් තොරව පැවැත්වීමට නියමිතය.

එසේම සැප්තැම්බර් 2 වැනිදා පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියැවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිතව ඇත.

එදිනම විදේශ විනිමය පනත යටතේ නියෝග තුනක්, රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ‍විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් ද්විත්වයක් පාර්ලිමේන්තුව විසින් අනුමත කරගැනීමට  නියමිතය.

මේ අතර ලබන 29 වැනිදා (සඳුදා) විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව පෙ.ව. 9.30 සිට ප.ව.  4.30 දක්වා  “විදුලිබිල විශාල ප්‍රතිශතයකින් වැඩිවීම නිසා මහජනතාවට මුහුණදීමට සිදුවන දුෂ්කරතා” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

එසේම මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වත්මන් ආර්ථික තත්ත්වය පිළිබදව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ලබන 30 වැනිදා ‍ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව සභානායක අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී කාරක සභාව වෙත දන්වා සිටියේය. පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වය මේ සදහා අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

මේ අතර ස්ථාවර නියෝගවල සංශෝධනයක් සිදුකරමින් කඩිනමින් ආංශික අධීක්ෂණ කාරක සභා පත් කිරීමට කටයුතු කරන බවද සභානායකවරයා මෙහිදී පැවසීය. තවද ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ශක්තිමත් කරමින් තවත් ස්ථාවර කාරක සභා ත්‍රිත්වයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

තවද ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරයන්ට ද පාර්ලිමේන්තු විවාදයන් තුළ සාධාරණ කාලයක් ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි