ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) විවෘත කිරීමට සියල්ල සූදානම්

දිනය : 2022-08-02

  • ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, හෙට (3) පෙ.ව. 10.30 ට
  • ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වේ...
  • ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදු කෙරේ...

 

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් හෙට (03) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (02) පැවැත්වූ අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීහු, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෙට (03) පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට එතුමාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ වෙනුවට එතුමා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදු කෙරේ. මෙහිදී ජනාධිපතිවරයාගේ ධජය එසවීමක් සිදු නොවන අතර ජාතික කොඩිය පමණක් එසවීම සිදුකෙරේ.

හෙට (03) පෙ.ව. 09.30 ට ආරාධිත අමුත්තන්ගේ  පැමිණීම සිදුවන අතර, එහිදී පළමුවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීම සිදුවීමට නියමිතයි.

අනතුරුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ පැමිණීමෙන් පසු,  අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පැමිණීම සිදු වන අතර, ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

එහිදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා  සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගැනීමට නියමිතයි.

එහිදී  ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලබයි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිතුමාට ආශිර්වාද එක් කිරීමට නියමිතය.

අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා  පෙ.ව. 10.25 පමණ වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා, මහලේකම්වරු සහ සහකාර වේත්‍රධාරී යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වේ. සභාගර්භයට ඇතුළු වීමේදී නියෝජ්‍ය වේත්‍රධාරීවරයා විසින් “ගරු ජනාධිපතිතුමා” යනුවෙන් පවසන අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නැගී සිට ආචාරකිරීම සම්ප්‍රදායානුකූලව සිදුවේ.

සභාගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙවර ජනාධිපතිවරයාගේ අසුනේ ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබීම විශේෂත්වයකි. මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවේ. අනතුරුව ජනාධිපතිවරයා  විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, සභාව කල් තැබීම සිදුවේ. ඉන් පසු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.

ජනාධිපතිවරයා සහ ආර්යාව පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අවස්ථාවේදී ද හමුදා උත්තමාචාරයක් පිරිනැමීම සිදුවේ.

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුතුමා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේද අනුගමනය කරමින් නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතු සිදුකෙරෙන බවද හෙතෙම අවධාරණය කළේය.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි