ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරයට වජිර අබේවර්ධන මහතා නම් කෙරේ

දිනය : 2022-07-23

ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ගරු වජිර අබේවර්ධන මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමග කියවිය යුතු 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වැනි වගන්තිය ප්‍රකාරව ක්‍රියා කරමින්, ඉහත කී පුරප්පාඩුව පිරවීම සඳහා වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත් කර ගන්නා ලද බව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කොට ඇත.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිසා මන්ත්‍රිධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට සිදුකළ ලිඛිත දැනුම්දීමට අනුව සුදුසුකම් සහිත සාමාජිකයෙකු පුරප්පාඩුව සඳහා නාමයෝජනා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයාට දැනුම් දෙන ලදී. ඒ අනුව එම පක්ෂ ලේකම්වරයා විසින් වජිර අබේවර්ධන මහතා නාමයෝජනා කළ බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් දිනකදී ගරු වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි