ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මාධ්‍ය නිවේදනය: අද දින පැවති පක්ෂ නායක රැස්වීමේ දී ගනු ලැබූ තීරණ සම්බන්ධවයි

දිනය : 2022-07-11

අද දින පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ප.ව. 2.00 ට මාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පවත්වන ලදී. එම රැස්වීමේ ප්‍රධාන අරමුණ වූයේ වත්මන් ජනාධිපතිවරයා ජූලි 13 වන දින ධූරයෙන් ඉල්ලා අස්වන බව මා වෙත ප්‍රකාශ කර ඇති බැවින් ඉතා ඉක්මණින් ගතයුතු ඉදිරි පියවර හා මූලික වශයෙන් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමිනි.
 
මෙම අවස්ථාවේ පක්ෂ නායකයින් අවධාරණය කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුකූලව ඉතාම කෙටි කාලයකින් මෙම කටයුත්ත ඉටු කළ යුතු බවයි.
 
ඒ අනුව ජූලි 15 වන සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවා ඉන්පසු ඒ සඳහා අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව 19 වන අඟහරුවාදා නාම යෝජනා කැඳවීම හා 20 වන බදාදා පවතින නීති ප්‍රතිපාදන අනුව ඡන්දයක් පවත්වා අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගත යුතු බවට තීරණය විය.
 
එම අභිනව ජනාධිපතිවරයා යටතේ සර්වපාක්ෂික රජයක් පිහිටුවීම හා ඉදිරි ව්‍යවස්ථා කටයුතු කරගෙන යාමට ද රටේ දැනට පවතින අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස ද කටයුතු සැලසිය යුතු යැයි පක්ෂ නායකයෝ මෙහි දී අදහස් පළ කළහ.
 
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා විසින් ප්‍රකාශ කර සිටියේ හෙට දිනයේ හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම් ගරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වීමට සූදානම් බවයි.
 
මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සියලුම පක්ෂ නායකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් මා විසින් ප්‍රකාශ කරන ලදී.

 

මහින්ද යාපා අබේවර්ධන
කථානායක

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි