ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මතයි

දිනය : 2022-06-09

  • දෙවනවර කියවීම වැඩි ඡන්ද 84කින් සම්මතයි
  • 4 වැනි වගන්තිය සදහා විපක්ෂයෙන් ගෙනා සංශෝධනය වැඩි ඡන්දයෙන්  ප්‍රතික්ෂේප වෙයි
  • ඛනිජ තෙල් සම්පත් පනත යටතේ  බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග සඳහාද අනුමතිය

 

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත විය.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව විපක්ෂය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර  ඊට පක්ෂව ඡන්ද 120ක්ද විපක්ෂව ඡන්ද 36 ක්ද හිමිවිය. මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මේ අනුව දෙවන වර කියවීම වැඩි ඡන්ද 84 කින් සම්මත විය.

අනතුරුව කාරක සභා අවස්ථාවේදී 4 වැනි වගන්තියට බලශක්ති අමාත්‍යවරයා ගෙනා සංශෝධනයට විපක්ෂය විරුද්ධත්වය පළ කළ බැවින් ආණ්ඩු පක්ෂයේ සංශෝධනය ඉල්ලා අස්කරගැනීම සිදුවිය. ඒ අනුව විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා 4 වැනි වගන්තියට සංශෝධනයක් ඉදිරිපත් කළ අතර එම සංශෝධනය බලශක්ති අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමග විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. එහිදී විපක්ෂයේ සංශෝධනය වැඩි ඡන්ද 64 කින් ප්‍රතික්ෂේප විය. එහිදී ඊට පක්ෂව ඡන්ද 51 ක්ද විපක්ෂව ඡන්ද 115 ක්ද හිමි විය.  

ඉන්පසු සම්පූර්ණ  4 වැනි වගන්තියට ඡන්ද විමසීමක් විපක්ෂය ඉල්ලා සිටි අතර එහිදී ඊට පක්ෂව ඡන්ද 116 ක්ද විරුද්ධව ඡන්ද 46 ක් ද ලෙස වැඩි ඡන්ද 70 කින් සම්මත විය.

මේ අනුව විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.  

විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමා විසින් 2022 මැයි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත මගින් යම් තැනැත්තකුට විදුලිබලය උත්පාදනය කිරීම පිණිස උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා දීම මෙමගින් සිදුවේ.

මේ අනුව  යම් තැනැත්තෙකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා සහ අභිබවා විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇති සීමා ඉවත් කිරීම සහ උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම මෙම සංශෝධනය මගින් සිදුවනු ඇත.

පනත් කෙටුම්පත බාගත කර ගැනීමට අදාළ සැබැඳිය පහත දැක්වේ;
http://documents.gov.lk/files/bill/2022/5/203-2022_S.pdf

 

මීට අමතරව 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග සදහාද අද පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය. 2021.10.15 වන දිනැති අංක 2249/ 32 අංකය දරන ගැසට් පත්‍රයේ මෙම නියෝග පළ කෙරිණි.

මෙම නියෝග 2021 අංක 1 දරණ ඛනිජ තෙල් සම්පත් (පත්කළ සාමාජිකයන්ගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවම සුදුසුකම් නියෝග) යනුවෙන් හඳුන්වනු ලැබේ.

මේ අනුව 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ යටතේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පත්කළ සාමාජිකයකුගේ අවම සුදුසුකම් සහ  ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අවම සුදුසුකම් සහ පළපුරුද්ද මෙම නියෝගවල   දක්වා ඇත

මෙම නියෝගවලට අදාළ ගැසට්පත්‍රය බාගත කර ගැනීමට අදාළ සැබැඳිය පහත දැක්වේ;
http://documents.gov.lk/files/egz/2021/10/2249-32_S.pdf

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි