රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ලබන 8 වැනිදා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි |
දිනය : | 2022-06-02 |
- පාර්ලිමේන්තුව ජූනි 7 සිට 10 දක්වා රැස්වෙයි
- අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජූනි 7 වැනිදා
- විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) ජූනි 9 වැනිදා
අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ලබන 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විවාදය ලබන 8 වැනිදා ප.ව. 5.30 දක්වා පැවැත්වේ.
තවද 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ සාදන ලද නියමයන් ද එදින විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිත ය.
අද (02) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර ලබන 7 වැනිදා පෙරවරුවේ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි සහ ණය සීමාව රු. ට්‍රිලියනයකින් ඉහළ නැංවීම සදහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනාව විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතය.
අනතුරුව අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන්පසු ඒ පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය ප.ව. 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
ජූනි 9 වැනිදා ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග ප.ව. 4.30 දක්වා විවාද කිරීමෙන් පසු සම්මත කර ගැනීමට නියමිතය. අනතුරුව ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කොට ඇති අතර ප.ව. 4.50 සිට 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.
මේ අතර පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා පිළිබඳ ශෝකප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සදහා ජූනි 10 වැනිදා පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.
මෙම සෑම දිනකම පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වන අතර ජූනි 10 වැනිදා හැර සෑම දිනකම පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව යන කාරක සභාවල පසුවිපරම් කටයුතු සිදු කිරීමේදී පාර්ලිමේන්තුව තුළ ඒවායේ ශක්තිමත් බව වැඩි කිරීම සදහා සභානායක අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබේ. ඒ අනුව මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ලබන 7 වැනිදා ප.ව. 2.30 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවීමට ද මෙහිදී තීරණය වී ඇත.
තවද පිරිවැය අවම කරගනිමින් පරිසර හිතකාමී ඊ-රාජ්‍ය සේවයක් ඇති කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ කටයුතු ද අවම කඩදාසි භාවිතයකින් යුතුව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව යෝජනා කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එවා තිබූ ලිපිය පිළිබඳව ද කමිටුවේ අවධානය යොමුවී ඇත. පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද සියලු වාර්තා හා ලේඛනවල මෘදු පිටපත් (Soft Copies) පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විශේෂ වෙබ් පෝටලයකට (Web Portal) ඇතුළත් කොට මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට යොමු කිරීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුව තිබේ. මේ අනුව ඉදිරියේදී ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස කාරක සභා සාමාජිකයන්ගේ ඒකමතික තීරණයෙන් කථානායකවරයා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කොට ඇත.
මේ අතර විවිධ හේතු මත පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සඳහා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ජූලි මස 04 වැනි සඳුදා සම්පූර්ණ දිනය වෙන් කිරීමටද කාරක සභාව මෙහිදී තීරණය කළේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









