නවවැනි පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස ගරු අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් වේ

දිනය : 2022-05-17

Print

නවවැනි පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස ගරු අජිත් රාජපක්ෂ මහතා අද (17) තේරී පත් විය.
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති අමාත්‍ය (මහාචාර්ය) ගරු ජී.එල්. පීරිස් මහතා විසින් ගරු අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර ගරු සමන්ප්‍රිය හේරත් මහතා විසින් ස්ථිර කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ නම යෝජනා කරන ලද්දේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් වන අතර ස්ථිර කරන ලද්දේ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.

මෙහිදි  ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ පක්ෂ එකොළහ වෙනුවෙන් ගරු විමල් වීරවංශ මහතා, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් ගරු මෛත්‍රීපාල සිරිසේන, ගරු චමින්ද විජේසිරි, ගරු නලීන් බණ්ඩාර, ගරු චන්දිම වීරක්කොඩි, ගරු මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් පවසා සිටියේ විශාල වියදමක් සිදු කරමින් මෙසේ ඡන්ද විමසීමක් නොපවත්වා එක් නමක් පමණක් යෝජනා කරන ලෙසයි.  

මෙහිදී කථානායකවරයා ප්‍රකාශ කළේ යෝජනා කරන ලද එක් නමක් ඉල්ලා අස්කර ගැනීමේ හැකියාව ඇති බවත් එසේ නොවන්නේ නම් ඡන්ද විමසීමකට යාමට සිදුවන බවයි.

මේ අනුව පාර්ලිමේන්තු මන්තීවරුන්ගේ රහස් ඡන්ද විමසීමක් පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් රාජපක්ෂ මහතාට පක්ෂව ඡන්ද 109 ක් ලැබුණි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියට පක්ෂව ඡන්ද 78 ක් ලැබුණි.

මෙහිදී වලංගු නොවන ඡන්ද 23 ක් පැවති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 13 දෙනෙකු මෙම ඡන්ද විමසීම සඳහා නොපැමිණි මන්ත්‍රීවරුන් ලෙස සටහන් විය.

මේ අනුව වැඩි ඡන්ද 31කින් පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් රාජපක්ෂ මහතා තේරී පත් විය.

නව වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් සියඔලාපිටිය මහතා පසුගියදා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස් වූ අතර, අනතුරුව නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවැත්වූ ඡන්ද විමසීමේදී නැවතත් එම ධුරයට තේරී පත්විය. ගරු සියඹලාපිටිය මහතා පසුගිය 06 වැනිදා නැවතත් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.