නවවැනි පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් සියඹලාපිටිය මහතා වැඩි ඡන්දයෙන් පත් වේ |
දිනය : | 2022-05-05 |
නවවැනි පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අද (05) පත් විය.
මෙහිදී පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් සියඹලාපිටිය මහතාගේ නම යෝජනා කරන ලද්දේ පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවට ප්‍රකාශ කළ මන්ත්‍රීවරු නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි. එය පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්ථීර කළේය. මේ සඳහා ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
එසේම විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් මද්දුම බණ්ඩාර මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය ස්ථීර කළේය.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්ද විමසීමක් පැවුත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් සියඹලාපිටිය මහතාට පක්ෂව ඡන්ද 148 ක් ලැබුණි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉමිතියාස් බාකීර් මාකර් මහතාට පක්ෂව ඡන්ද 65 ක් හිමි විය. මෙහිදී වලංගු නොවූ ඡන්ද සංඛ්‍යාව 3 ක් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 8 දෙනෙක් මෙම ඡන්ද විමසීම සඳහා සහභාගී නොවූහ. මේ අනුව වැඩි ඡන්ද 83 කින් පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් සියඹලාපිටිය මහතා නැවතත් තේරී පත් විය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව මෙසේ නව නියෝජ්‍ය කථානායකවරයා පත් වීම සිදු විය. එනම් ස්ථාවර නියෝග 6(1) ප්‍රකාරව නියෝජ්‍ය කථානායක ධූරයෙහි හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරයෙහි පුරප්පාඩුවක් ඇතිවීමෙන් පසුව පැවැත්වෙන පළමුවැනි රැස්වීමේදී එහි ප්‍රධාන කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුව විසින් අවස්ථාවෝචිත පරිදි, නියෝජ්‍ය කථානායකවරයෙකු හෝ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබීමට කටයුතු කළ යුතුය.
නව වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මෙතෙක් කටයුතු කළේ ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඔලාපිටිය මහතා ය. පසුගියදා ඔහු තමන් නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබිණි. මේ අනුව සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම අනුමත කරමින් ඒ පිළිබඳව ජනාධිපතිවරයා තමන් වෙත දැනුම් දී ඇති බව කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දන්වා සිටි අතර, තමා වෙතද එහි පිටපතක් ලැබුණු බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ අනුව නියෝජ්‍ය කථානායකවරයෙක් තෝරා පත් කරගැනීමට අදාළව අද දින මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






