ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

විදුලිබල සහ බලශක්ති, වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීහු අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට පැමිණෙති

දිනය : 2022-04-28

මේ වනවිට රටේ පවතින බලශක්ති, විදුලිය සහ ගෑස් සැපයුම පිළිබදව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර, වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ යන මහත්වරු, එම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහූ අද (28) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගී වූහ.

පවතින අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම පිළිබඳව පක්ෂ නායකයන් ඇතුළු කාරක සභා සාමාජිකයෝ මෙහිදී අදාළ අමාත්‍යවරු සහ නිලධාරීන් සමග සාකච්ඡා කළහ.

ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සදහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත්  විදුලි බල සහ  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී පැවසීය.


මෙම අමාත්‍යාංශ ද්විත්වය සදහා නව ලේකම්වරු දෙදෙනෙක් පත්කර ඇති බවත්  පවතින තත්ත්වය කළමණාකරණය කොට ඉදිරිදින කිහිපය තුළ පවතින අර්බුදය ජය ගැනීමට නිලධාරීන් සමග හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පක්ෂ නායකයන් ඇතුළු කාරක සභාවේ සාමාජිකයන්ට පවසා සිටියේය. එසේම මෙම අර්බුදය සදහා බලපා ඇති හේතූ සහ පැවති කළමණාකරණ දුර්වලතා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී ඛනිජතෙල් සැපයුම අඛණ්ඩව සිදු කිරීම සදහා මුතුරාජවෙල පර්යන්තය පැය විසිහතරකම  සේවය කරන බවත් ආදාළ නිලධාරීන් ප්‍රමුඛ සේවක මඩුල්ල හැකි උපරිම කැප කිරීමකින් සේවය කරන බවත් අමාත්‍යරයා පැවසීය. විදුලි බල ජනනය සදහා අවශ්‍ය ගල් අගුරු නැවක් සදහා අද ගෙවීම් සිදුකළ බවත් ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අගුරු පවතින බව ද ඔහු පැවසීය.

විදුලි බල ජනනය සදහා අවශ්‍ය ඉන්ධනවලට ප්‍රමුඛත්වයක් ලබා දෙන බවත් ගුවන් සේවා සහ විදුලි බල මණ්ඩලයට ඍජුවම ඉන්ධන මිලදී ගැනීම  සදහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ කටයුතු කරන බවත් ඒ සදහා පක්ෂ නායකයන් ඇතුළු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට යොදා ගැනීමට එරෙහිව පවතින බාධක පිළිබඳවද කාරක සභා මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානය යොමුවිය. මේ අනුව සර්ව පාක්ෂික කමිටුවක් ස්ථාපනය කොට  පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.  ඒ සදහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට ඉදිරි කාලය තුළ අපේක්ෂා කරන බවත් එම සංශෝධන හරහා පුනර්ජනනීය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට වැඩිවශයෙන් එක් කර ගැනීමට හැකිවනු ඇති බවද විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

දැනට පවතින ගෑස් හිඟය පිළිබදව ද වෙළද සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය. ඉන්දියන් ණය පහසුකම සහ ලෝක බැංකු ණය පහසුකම් යටතේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වය ගෙන ඒමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරි කාලය තුළ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

1

3

7

8

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි