ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක් - කථානායකවරයා නිවේදනය කරයි

දිනය : 2022-04-22

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කරන බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) නිවේදනය කළේය.

පසුපෙළ  මන්ත්‍රීවරයන්  විසින්  වාචික  පිළිතුරු  අපේක්ෂාවෙන්  ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න,  පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය හේතුවෙන් පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වනු ලබන සෑම දිනකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කිහිප දෙනෙකුට පමණක්  එම  ප්‍රශ්න ඇසීමේ  අවස්ථාව සීමාවී තිබීම මෙම තීරණය සඳහා හේතු වූ බවද කථානායකවරයා සභාවට නිවේදනය කළේය.

මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තු  ප්‍රශ්න  ඉදිරිපත්  කරනු  ලබන  අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට සමානව එම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව නොලැබෙන බවට එකී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කරන ලද ලිඛිත හා වාචික ඉල්ලීම් පසුගිය  දිනවල පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී විශේෂ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ලබන මැයි පළමු පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින සිට මෙම නව ක්‍රමවේදයට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වාචික  පිළිතුරු  අපේක්ෂාවෙන්  ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න,  පාර්ලිමේන්තුවේ  න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී අනුගමනය කරන නව ක්‍රමවේදය ද කථානායකවරයා සභාවට නිවේදනය කළේය.

කථානායකවරයාගේ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

 

නිවේදනය

ගරු මන්ත්‍රීවරුනී,

පසුපෙළ  මන්ත්‍රීවරයන්  විසින්  වාචික  පිළිතුරු  අපේක්ෂාවෙන්  ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න,  පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය හේතුවෙන් පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වනු ලබන සෑම දිනකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කිහිප දෙනෙකුට පමණක්  එම  ප්‍රශ්න ඇසීමේ  අවස්ථාව සීමාවී තිබීම නිසා පාර්ලිමේන්තු  ප්‍රශ්න  ඉදිරිපත්  කරනු  ලබන  අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට සමානව එම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව නොලැබෙන බවට එකී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී මෙන්ම පෞද්ගලිකව මා වෙත යොමු කරන ලද ලිඛිත හා වාචික ඉල්ලීම් 2022.03.16 හා 2022.04.08 යන දිනවල පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී විශේෂ අවධානයට යොමු කරන ලදී.

ඒ අනුව වාචික  පිළිතුරු  අපේක්ෂාවෙන්  ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න,  පාර්ලිමේන්තුවේ  න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිණිස මතු දැක්වෙන මාර්ගෝපදේශ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඒකමතිකව තීරණය කරන ලද බව මෙම ගරු සභාවට දැනුම්දීමට කැමැත්තෙමි:—

  1. එක් පාර්ලිමේන්තු රැස්වීම් දිනකදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10 කට පමණක් සීමා කිරීම;
  2. එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න භාර දී ඇති අනුපිළිවෙළ අනුව පළමුවැනි ප්‍රශ්නයට ප්‍රමුඛතාවය ලබා දී පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වනු ලබන පළමුවැනි දිනයේදී මුලින්ම නම් සඳහන් මන්ත්‍රීවරයන් දහදෙනාගෙන් (10) එක් ප්‍රශ්නය බැගින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම;
  3. දෙවැනි දිනයේදී ඊළඟට නම් සඳහන් මන්ත්‍රීවරයන් දහදෙනාගේ (10) ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සහ අනෙකුත් දිනයන් සඳහාද ඒ ආකාරයෙන්ම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම;
  4. පිළිතුරු ලබා දීම සඳහා කාලය ඉල්ලා සිටින ලද ප්‍රශ්න අදාළ මන්ත්‍රීවරයාට ඊළඟට එළඹෙන අවස්ථාවට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනයේදී ඒ සඳහා යෝග්‍ය පරිදි ප්‍රමුඛතාවය ලබා දීම;
  5. මෙම නව ක්‍රමවේදය 2022 මැයි පළමු පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින සිට ක්‍රියාත්මක කිරීම.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි