ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මීළඟ පාර්ලිමේන්තු සතිය අප්‍රේල් 19 සිට 22 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

දිනය : 2022-04-08

පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 19 සිට 22 දක්වා රැස්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. එසේම මෙම සෑම දිනකම ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කොට ඇති අතර ප.ව. 4.50 සිට 5.30 දක්වා පිළිවෙලින් ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට  තීරණය වී තිබේ.

මේ අනුව අප්‍රේල් 19 වැනිදා පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වීමට නියමිත අතර පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.12.24 දිනැති අංක 2259/54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද  නියෝග, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2022.01.18 දිනැති අංක 2263/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.

අප්‍රේල් 20 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2021.10.16 දිනැති අංක 2249/50, 2022.01.01 දිනැති අංක 2260/78 සහ 2022.01.01 දිනැති අංක 2260/79 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නිවේදන විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය. තවද එදින රේගු ආඥා පනත (235 අධිකාරය) ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022.01.11 දිනැති අංක 2262/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනාව ද විවාදයට ගැනීමට තීරණය වී තිබේ.

අප්‍රේල් 21 පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද, 2021.11. 23 දිනැති අංක 2255/8, 2021.12. 21 දිනැති අංක 2259/9, 2021.12.31 දිනැති අංක 2260/72 සහ 2022.01.11 දිනැති අංක 2262/15 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියමයන් ද විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.

අප්‍රේල් 22 පෙ.ව. 11.00 සිට ප.ව. 4.30  දක්වා කාලය මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.09.17 දිනැති අංක 2245/31, 2021.10.29 දිනැති අංක 2251/63 සහ 2021.08.14 දිනැති අංක 2240/37 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කළ නියෝග විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි