ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි

දිනය : 2022-03-22

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී  බහුතර ඡන්දයෙන් සම්මත විය.

පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්.ඒ. සුමන්තිරන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක යන මහත්වරු  ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහ.  ඒ අනුව දෙවනවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 86ක්ද විපක්ෂව ඡන්ද 35ක්ද හිමි වූ අතර පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 51 කින් මේ අනුව සම්මත  විය.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී වගන්ති කිහිපයක් සංශෝධන සහිතව සභාවේ සම්මත වූ අතර තෙවනවර කියවීම සඳහා ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත සම්මත විය.
පාර්ලිමේන්තුව අද පෙ.ව. 10.00 ට රැස්වූ අතර “අධිභාර බද්ද” පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවේ යන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඹලාපිටිය මහතා සභාවට නිවේදනය කළේය.

එසේම පසුගියදා විවාද කොට පාර්ලිමේන්තුවේදී සම්මත වූ “බුද්ධිමය දේපළ (සංශෝධන)”, “පෞද්ගලික දත්ත ආරක්ෂණ”, “කම්කරු වන්දි (සංශෝධන)” සහ “ඉඩම් සංවර්ධන (සංශෝධන)” නමැති  පනත් කෙටුම්පත්වල ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරන ලද බව නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

පෙ.ව. 10.00 සිට 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් වූ අතර විදේශ කටයුතු අමාත්‍ය ගරු ජී. එල්. පීරිස් මහතා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප.ව. 4.30 දක්වා එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්විණි.

ඉන්පසු ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්ව තිබිණි. ඒ අනුව  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේශා විතානගේ මහතා වර්තමානයේ මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය පිළිබද බලශක්ති අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ මහතාගෙන් විමසා සිටියේය. එසේම වැව් රක්ෂිතවල, ගංගා ඉවුරුවල, ගංගාවල අනවසරයෙන් ඉදිකිරීම් වළක්වා ගැනීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු  වසන්ත යාපා බණ්ඩාර මහතා  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය පිළිබද නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු නාලක ගොඩහේවා මහතාගෙන්  විමසන ලදී. අනතුරුව පාර්ලිමේන්තුව හෙට (23) පෙ.ව. 10.00 දක්වා කල් තැබීම සිදුවිය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි