ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් ත්‍රිත්වයකට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි

දිනය : 2022-03-19

පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් සතියේ විවාදයට ගෙන සම්මත වූ පනත් කෙටුම්පත් ත්‍රිත්වයකට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද පෙරවරුවේ (19) සටහන් කළේය.

පසුගියදා සම්මත වූ පෞද්ගලික දත්ත ආරක්ෂණ, කම්කරු වන්දි (සංශෝධන), ඉඩම් සංවර්ධන (සංශෝධන) යන පනත් කෙටුම්පත් මෙලෙස පනත් ලෙස මෙරට නීති පද්ධතියට එක්වීම සිදුවිය.

ඒ අනුව මෙම පනත් 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත, 2022 අංක 10 දරන   කම්කරු වන්දි (සංශෝධන) පනත සහ 2022 අංක 11 දරන ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත ලෙස අද (19) සිට බලාත්මක වේ.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම, පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළව දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීමට සහ ශක්තිමත් කිරීම  අරමුණු කරගත් පනතකි. තවද “දත්ත ආරක්ෂණ අධිකාරිය” නම් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම ද මෙමගින් සිදුවේ.

2022 අංක 10 දරන කම්කරු වන්දි (සංශෝධන) පනත මගින් 2005 වර්ෂයේ අවසන් වරට සංශෝධිත 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනතට සංශෝධන එක් කිරීම සිදුවූ අතර සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී  දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය වන රු. 550,000 ක මුදල,  රු. 2,000,000 (විසි ලක්ෂය) දක්වා වැඩි කිරීම මෙමගින් සිදුවේ.

එසේම දැනට රැකියා අවස්ථාවේදී සිදුවන අනතුරුවලට පමණක්  වන්දි ගෙවීමට ඇති ප්‍රතිපාදන , රැකියා ස්ථානයට එන සහ යන අවස්ථා ඇතුළත් කොට  අර්ථ නිරූපණය වඩාත් පුළුල්කිරීම ඇතුළු වැදගත් සංශෝධන රැසක් මේ හරහා සිදුකොට ඇත.

2022 අංක 11 දරන ඉඩම් සංවර්ධන (සංශෝධන) පනතට අනුව ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම සිදුවූ අතර “ඉඩම් කොමසාරිස්” යන වචනය වෙනුවට “ඉඩම් කොමසාරිස් ජනරාල්” යන වචනය ආදේශ කිරීම, අතිරේක ඉඩම් කොමසාරිස්වරයන් හා වෙනත් නිලධරයන් පත්කිරීම, ඉඩම් කොටසක් උකස් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතිය අවශ්‍ය නොවන බව, මැනුම් කරනු නොලැබූ ඉඩම් සඳහා ප්‍රදානපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් මෙහි අන්තර්ගත වේ.

 

speaker-endorse-bills-mar-19

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි