ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මතයි

දිනය : 2022-03-11

•    පෞද්ගලික මන්ත්‍රී යෝජනා පිළිබද විවාදය පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා පැවැත්වෙයි

 

ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත විය.

ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා විසින් ‍ ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට අනුව  ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම සිදුවන අතර “ඉඩම් කොමසාරිස්” යන වචනය වෙනුවට “ඉඩම් කොමසාරිස් ජනරාල්” යන වචනය ආදේශ කිරීම, අතිරේක ඉඩම් කොමසාරිස්වරයන් හා වෙනත් නිලධරයන් පත්කිරීම, ඉඩම් කොටසක් උකස් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතිය අවශ්‍ය නොවන බව, මැනුම් කරනු නොලැබූ ඉඩම් සඳහා ප්‍රදානපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් මෙහි අන්තර්ගත වේ.

 

පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ.

http://documents.gov.lk/files/bill/2022/1/168-2022_S.pdf


අද පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වූ අතර පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්ව තිබිණි. අනතුරුව ස්ථාවර නියෝග 27(2) යටතේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් සේවා කාලයදීර්ඝ කිරීමේ යෝජනාව හේතුවෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබද විමසන ලදී. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ද ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදුවූ බව පවසමින් කැනඩාවේ ඔන්ටෝරියෝ ප්‍රාන්ත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට නියමිත පනතක් පිළිබඳව  සිය ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

ඉන්පසු පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා  මන්ත්‍රීවරයන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීම සිදුවිය.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතා විසින්  “වයස අවුරුදු  60 ඉක්මවා ඇති පුද්ගලයන් සමාජය තුළ සක්‍රීය පුද්ගයන් බවට පත් කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම” පිළිබද ඉදිරිපත් කළ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා විසින්  “දේශීය බීජ නිෂ්පාදන ක්‍රියාවලිය පණ ගැන්වීම” පිළිබඳ කළ යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් “ශ්‍රී ලංකාවේ මනෝ උපදේශකවරුන් / මනෝ චිකිත්සකවරුන් නියාමනය කිරීම” පිළිබද කළ යෝජනාව මෙසේ විවාදයට ගන්නා ලද අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් විවාදයට එක්වෙමින් අදහස් පළ කළහ.

ඉන්පසු ප.ව. 3.00 ට පමණ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත  ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ප.ව. 5.30 දක්වා එම පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කෙරිණි. අනතුරුව පාර්ලිමේන්තුව ලබන 22 වැනිදා පෙ.ව. 10.00 දක්වා කල්තැබීම සිදුවිය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි