පාර්ලිමේන්තුවේ කථානායක, ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිදහස් දින පණිවිඩය

දිනය : 2022-02-04

Print

ශ්‍රී ලංකාව නිදහසේ 74 වැනි සැමරුම  අභිමානවත් ලෙස සටහන් කරන අද දවසේ පවත්නා ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ  අපි ජාතියක් ලෙස අභියෝග ගණනාවකට මුහුණ දී සිටිමු. එය යන්තමින් හෝ දෙවෙනි  වන්නේ නම් ඒ, අපි එකම රටක්  සහ දැයක් ලෙස 1948 දී මුහුණ දී ජයග්‍රහණය කළ නිදහසේ අභියෝගය ට පමණක් විය යුතු බව මගේ මතයයි.

එදා, 1948 අද වැනි දිනක  හිරු නොබසින අධිරාජ්‍යයෙන් අප ලත් නිදහස, වසර ගණනාවක් තිස්සේ විවිධ ජාති,ආගම්, කුල ඈ භේද නොතකා නම් කියැවුණු සහ නොකියැවුණු අසංඛේය මිනිසුන්ගේ  අප්‍රමාණ වූ ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.  එදවස අපේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් ආදී නන්විධ ජාතීන්ට අයත් වූ ඔවුහු එක්සත්ව, එක්සිත්ව වීරත්වයෙන් ලක්මවු උදෙසා සටන් වැදුණාහ. අප අද මෙසේ අතිමහත් උද්දාමයෙන් යුතුව වර්තමානයේ නිදහස සමරනුයේ ඔවුන් එදා රුහිරු , කදුළු  වගුරා,  දිවි පුදා මෙබිම සුරැකි හෙයිනි. එහෙයින්, අතීතයේ සිට වර්තමානය තෙක් රට සුරකින්නට මැදිහත් වූ ඒ උතුම් මිනිසුන්ගේ  ආත්ම සුවපත් කරලනු පිණිස ද ස්වකීය ආගමානුකූලව,  පුණ්‍යානුමෝදනා කරනට මා ප්‍රථමයෙන්  ඔබ  සැමට සද් සිතින් ඇරයුම් කරමි.

අපේ රටේ දක්නට ඇති විවිධත්වයේ විචිත්‍රත්වය හුදෙක්  අද සෑම නිවහනක් මුදුනේ ම ලෙළදෙන ජාතික ධජයට පමණක් සීමා නොවුණකි. අපේ රටේ මිහිරිතම දේශාභිමානී ගී ලියැවුණේ, උපතින් මෙරට පුරවැසියකු නොවුණු ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමියන් අතිනි. යුග ගණන් කියැවුණු අපේ උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථ වන ලෝකෝපකාරයේද, සුභාෂිතයේ ද, තිරුක්කුරල්, මුදුරෛ සහ නල්වළි ආදී දෙමළ උපදේශක කාව්‍ය ග්‍රන්ථයන්ගේ ආභාසය දක්නට ලැබේ. අපේ සිංහල-දෙමළ වාග් කෝෂය ඒ දෙබසින්ම අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය වූවකි. එපමණක් නොව, අපේ  මුස්ලිම් සහෝදර ජනයා අතීතයේ සිට රටත්, රජුන් සිය දිවිනොතකා  සුරැකි බව‌ට ඉතිහාසය සාක්ෂි සපයයි. මෙරට සොබාදහමෙන් වශිකෘත වූ ඔවුහු සමහරෙක් ලංකාවේ පදිංචි වුයේ එකල දේශිය පාලකයන්ගේ හෘදයාංගම සංග්‍රහය නිසාය. ලාංකික පොළොවෙහි මුල් බැසගත් ඔවුහු බැග්ඩැග් හා අනෙකුත් ඉස්ලාම් නගර සමග ලංකාව වෙනුවෙන්  සංස්කෘතික  හා වාණිජ්‍යමය සම්බන්ධ‍ පවත්වා ගැනිමට අමතක නොකළහ. එපමණක් නොව, එළඹෙන සිංහල-දෙමළ අලුත් අවුරුද්දේ සෑම ගෙපැලකම ඉදෙන ආහාර , කැවිලි පෙවිලිවල පෘතුගීසි , ලන්දේසි මෙන්ම යුරෝපීය ලකුණ ද ඇත. අපි ඒ විවිධත්වය අගය කරමු,  එහි රමණීයත්වය විඳිනට හැක්කේ නිදහස් මනසකින් හෙබි මානවවාදීන්ට පමණකි.

රෝ  දුක් බියෙන්  යළි මුළු ලොවම   වෙළාගෙන තිබියදී  සිරිලක අපට එයින් අත්මිදීමේ මාර්ගය  ඇත්තේ  මෙසේ එකිනෙකා ගේ විවිධත්වය ඇගයෙන, එකමුතුවක් තුළින් පමණකි.   හුදෙකලා ප්‍රයත්න ඔස්සේ මේ ව්‍යසනය ජයගැනිමෙහි හැකියාවක් නැත. හුදු අලංකාරෝක්තින්ගෙන් ඔබ්බට ගිය එවන්  අප්‍රමාණ නිදහසක් ලක් පොළොවෙහි පැළ කිරීමේ භාරදූර  වගකීම ලංකාවාසී පුරවැසි  අපේ උරමත පැටවී තිබේ. වැඩිහිටියන් ලෙස අප යෞවනයන්ටද, දරුවන්ටද  එම නිසි මග කියා දිය යුතු  ගුරුවරුන් පිරිස වෙමු.

එසේම, අපේ සැබෑ නිදහසෙහි යතුර ඇත්තේ භෞතික සම්පත්තීන්ගෙන් පරිපූර්ණත්වයට ළගාවීමෙහි නොව අපගේ අධ්‍යාත්මය තුළමය. හෘදාභ්‍යන්තරයෙහි වන යහපත් ගුණ වැඩිදියුණු කරගනිමින් අපි රට වෙනුවෙන් එක්ව යුතුකම් හා වගකීම් ඉටු කරනු පිණිස වන අලුත් යහපත් ගමනක් අදින් අරඹමු!

 

“නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ!”

 

ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් සිහිපත් කළ ඒ යහපත් අධිෂ්ඨානය ඇතිව, අනාගතය දිනන්නට ලක්වාසී  ඔබ සැමට සුබ නිදහස් දිනයකට ආසිරි!

 

මහින්ද යාපා අබේවර්ධන,
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.