දකුණු කොරියානු කථානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි |
දිනය : | 2022-01-21 |
|
සිව් දින නිල සංචාරයක් සදහා පසුගියදා මෙරටට පැමිණි දකුණු කොරියානු ජාතික සභාවේ ගරු කථානායක පාක් බියෝන්ග් සියෝග් මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස අද (21) පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි දකුණු කොරියානු කථානායකවරයා ඇතුළු නියෝජිත පිරිස පිළිගනු ලැබුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් විසිනි.
දකුණු කොරියානු ගරු කථානායකවරයා සම්භාවනීය අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමට ද එක්වූ අතර එහිදී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දකුණු කොරියානු කථානායකවරයා පිළිගනිමින් සභාවට විශේෂ නිවේදනයක් ද ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව දෙරටේ කථානායකවරුන් අතර විශේෂ හමුවක් පැවති අතර එහිදී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියටත් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව ඉහළ නැංවීම මෙන්ම පාර්ලිමේන්තු ක්‍රියාවලියට ජනතාව සක්‍රීය ලෙස සම්බන්ධ කරගැනීමේ අරමුණින් විවෘත පාර්ලිමේන්තු ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේය. කාරක සභා මාධ්‍යයට විවෘත කිරීමත් අලුතින් පිහිටුවන ලද සන්නිවේදන දෙපාර්තමේන්තුව හරහා පාර්ලිමේන්තු ක්‍රියාවලියේ විනිවිදභාවය මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කිරීමටත් පියවර ගෙන ඇති බව ද ගරු කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු පුස්තකාලය ඩිජිටල්කරණ වැඩසටහනක් ආරම්භ කළ බවත් ඉදිරියේදී “කඩදාසි රහිත පාර්ලිමේන්තුවක්” පිළිබඳ අපේක්ෂාවන් පවතින බවත් ගරු කථානායකවරයා ප්‍රකාශ කළේය.
දකුණු කොරියාවේ සමීප මිතුරෙක් ලෙස ශ්‍රී ලංකාව සමග විවිධ අංශවලින් ද්වීපාර්ශවීය සබඳතා වැඩිදියුණු කරගැනීමට අපේක්ෂා කරන බව දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කථානායක පාක් බියෝන්ග් සියෝග් මහතා මෙහිදී පැවසීය. කොරියානු කථානායකවරයා විසින් මෙරට කථානායකවරයාට කොරියාවේ සංචාරයක නිරතවන ලෙස ආරාධනයක්ද කළේය.
විදේශ අමාත්‍ය ජී. ඇල්. පීරිස් මහතාගේ කරුණු පැහැදිලි කිරීමටද පිළිතුරු දෙමින් කොරියානු කථානායකවරයා පවසා සිටියේ ශ්‍රී ලාංකිකයින්ට කොරියාව තුළ වැඩි රැකියා අවස්ථා ලබා දීම, නව වෘත්තීය පුහුණු වැඩසටහන් හදුන්වාදීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා කොරියානු සමාගම්වල වැඩි ආයෝජන සහ සහභාගීත්වය ලබා දීමට අපේක්ෂා කරන බවයි.
අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කොරියානු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, කොරියානු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.