ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍ර වීම හා අවපැහැයෙන් යුක්තව පැවැතීම පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා කාර්ය සාධක බලකායක්

දිනය : 2021-04-23

දියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍ර වීම හා අවපැහැයෙන් යුක්තව පැවැතීම පිළිබඳව ඉදිරි පියවර ගැනීම සදහා කාර්ය සාධක බලකායක්  පත් කර තමා වෙත ඒ බව ලිඛිතව ඉදිරිපත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැනුම් දුන්නේය.

දැනට උද්ගත තත්ත්‍වය මඟහරවාගැනීම පිණිස සිදු කළ හැකි  ක්‍ෂණික විසඳුම් හඳුනාගෙන, ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද, මෙම ජලාශය නැවත යථා තත්ත්‍වයට පත් කර ඉදිරියේ දී එවන් තත්ත්වයන් ඇතිවීම වළක්වාලීමට අවශ්‍යතාව ද කථානායකවරයා පෙන්වා දුන්නේය.

දියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍ර වීම හා අවපැහැයෙන් යුක්තව පැවැතීම පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම පිණිස ගරු කථානායකතුමාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වැනි සඳුදා දින පාර්ලිමේන්තුවේදී පැවැති රැස්වීමේදී ඉහත දැනුම්දීම සිදු කෙරිණි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන්ද, ආරක්‍ෂක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම් හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, කඩුවෙල මහ නගර සභාව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය (NARA)  සහ ශ්‍රී ලංකා පොලීසිය යන ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

රැස්වීමේ අරමුණු පැහැදිලි කළ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා දියවන්නා ඔය ජලාශයේ වත්මන් තත්ත්‍වය අනුව උද්ගත ගැටළුකාරී පසුබිම හා එම තත්ත්‍වය කඩිනමින් යථාවත් කිරීමේ අවශ්‍යතාව හා වැදගත්කම පෙන්වා දුන්නේය.  

රාජ්‍ය  හා පෞද්ගලික ආයතන, නිවාස සංකීර්ණ, කර්මාන්ත, නිවාස යෝජනාක්‍රම ආදිය මගින් බැහැර කරනු ලබන්නේ සම්මත ප්‍රමිතියට අනුකූලව පිරිසිදු කරන ලද ජලය පමණක් ද යන බව නිරන්තර අධීක්‍ෂණයට යටත් වීමේ අවශ්‍යතාවයද දසනායක මහතා පෙන්වා දුන්නේය.
 
අනවසර පදිංචිකරුවන්ගේ නිවාස මගින් බැහැර කරනු ලබන මළ අපද්‍රව්‍ය මගින් සිදුවන බලපෑම වළක්වාලීමේ හා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හා දියවන්නා ජලාශයේ ගුණාත්මක බව සුරැකීම සඳහා අදාල බලතල සහිත විධිමත් වැඩපිළිවෙලක් ස්ථාපනයේ අවශ්‍යතාව, පරිසර අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පැහැදිලි කළේය.

දියවන්නා ඔය ජලාශය නිසි ප්‍රමිතියකින් යුතුව පවත්වාගැනීම සඳහා අදාල සියළු පාර්ශ්වයන් විසින් වඩාත් වගකීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද, ඉදිරි කටයුතු සඳහා විවිධ ආයතනයන්හි ප්‍රායෝගික දායකත්‍වය සහ විෂයානුබද්ධ විශේෂඥ දැනුමැති විද්‍යාර්ථීන්ගේ දායකත්‍වය ලබාගැනීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

 

1

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි