ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට

දිනය : 2020-11-16

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

2021 විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තොබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පල කිරීමෙන් පසු එය ඔක්තොබර් 20 වැනිදා ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා විසින් 2021 විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම (අයවැය කථාව) ඉදිරිපත් කිරීම සඳහා හෙට (17) පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.

ඉන් පසුව ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය සිදු කරනු ඇත. එය මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙස සැලකේ.

2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ. ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා  පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වේ.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට (17) දිනයේ සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

හෙට දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යංශයේ අවසර ලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධි විධානයන්ට යටත්ව ආසන පනවා ඇත. මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇත.

අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි