ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු රැස්වීම් අඛණ්ඩව ඉදිරියට

දිනය : 2020-10-08

පාර්ලිමේන්තු රැස්වීම් අඛණ්ඩව ඉදිරියට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළේය. එම කාරක සභාව මෙම තීරණය ගනු ලැබුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දහවල් රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව ලබන ඔක්තෝබර් 20 වැනිදා සිට සුපුරුදු පරිදි පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීමටත් එදින පෙ.ව. 10.00 සිට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග 03ක් විවාදයට ගැනීමටත් කාරක සභාව තීරණය කළේය. එදින සවස 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙනු ඇත.

ඔක්තෝබර් 21 වැනිදා වෛද්‍ය ආඥා පනත යටතේ ඉදිරිපත් කර තිබෙන නියෝග විවාදයට ගැනෙනු ඇත. එදින සවස 4..30 සිට 5.30 දක්වා විවාදයට ගැනීමට ඇත්තේ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවයි.

ඔක්තෝබර් 22 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපක් කරනු ලබන වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යෝජනාව විවාදයට ගැනෙනු ඇත.

එමෙන්ම ඔක්තෝබර් 09 දිනට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ හා අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මියගේ ශෝක ප්‍රකාශ යෝජනා ලබන 23 වැනිදා විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර යම් ලෙසකින් 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළහොත් නැවත වරක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කැඳවා එම සංශෝධනය විවාදයට ගැනීම සදහා දැනට සැළසුම් කර ඇති රැස්වීම්වල න්‍යාය පත්‍රය වෙනස් කිරීමටද මෙහිදී කාරක සභා සාමාජිකයෝ සාකච්ජා කළහ.

එම රැස්වීමට සභානායක දිනේෂ ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල, ජී.ඇල් පීරිස්, රවුෆ් හකීම්, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, අලි සබ්රි,ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, රිෂාද් බදියුදීන් සහ එම්.ඒ සුමන්තිරන් යන මහත්වරු සහභාගී වූහ. ඔවුනට අමතරව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල යන මහත්වරුද ඊට සහභාගී වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි