ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

දිනය : 2020-10-05

පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම් ලබන ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

මෙම රැස්වීමට ගරු සභානායක දිනේෂ් ගුණවර්ධන, ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු චමල් රාජපක්ෂ, ගරු ඩග්ලස් දේවානන්ද, ගරු විමල් වීරවංශ, ගරු ඩලස් අලහප්පෙරුම, ගරු මහින්ද අමරවීර, ගරු ප්‍රසන්න රණතුංග, යන අමාත්‍යවරුද, ගරු මහින්ද සමරසිංහ, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු ගයන්ත කරුණාතිලක, ගරු අනුර කුමාර දිසානායක, ගරු ඩිලාන් පෙරේරා, ගරු මනෝ ගනේෂන්, සහ ගරු එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

එහිදී ගනු ලැබූ තීරණයන්ට අනුව මුදල් සංශෝධන කෙටුම්පතේ දෙවන වර කියවීම සහ ආනයන සහ අපනයන (පාලන) පනතට ඉදිරිපත් කර ඇති රෙගුලාසි ඔක්තොබර් 06 වැනිදා විවාදයට ගනු ලබනු ඇත. එදින ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ ‍යෝජනාව පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනේ.

ඔක්තොබර් 07 වැනිදා ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවිම, විවාදයට ගනු ඇත. මෙයට අමතරව විසර්ජන පනත යටතේ වන යෝජනා 05ක්ද විවාදයට ගැනෙනු ඇත. එදින පස්වරු 4.30 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

ඔක්තෝබර් 08 වැනිදා සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විදේශ ගිවිසුම් පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා කළ යෝජනාවකට අනුව සියලු විදේශ ගිවිසුම් පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය එකඟතාවය පල කර තිබේ. ඒ අනුව එම විවාදය පෙරවරු 11 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු පිළිබඳ ශෝක ප්‍රකාශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල, අභාවප්‍රාප්ත ආර්.ආර්.ඩබ්ලිව් රාජපක්ෂ, අභාවප්‍රාප්ත කේ.පී සිල්වා යන මන්ත්‍රීන් පිළිබඳව ශෝකය පළවනු ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි