මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට පාර්ලිමේන්තු රැස්වීම් කාලවේලාවේ වෙනසක් |
දිනය : | 2020-09-10 |
මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට පාර්ලිමේන්තු රැස්වීම් කාලවේලාවේ වෙනසක් සිදු කිරීමට අද (10) ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
ඒ අනුව ලබන සැප්තැම්බර් 22 වැනිදා සිට පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 10.00 ට ආරම්භ කර පස්වරු 5.30ට අවසන් වේ. පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනුයේ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයයි.
සැප්තැම්බර් 08 වැනි අඟහරුවාදා ලිපිලේඛනාදිය පිළිගැන්වීම යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2006 අංක 11 දරණ මුදල් පනත යටතේ නියමයක් ද , 2012 අංක 12 මුදල් පනත යටතේ නියමයක් ද, 2018 අංක 35 මුදල් පනත යටතේ නියමයන් 05ක් ද, 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ නියෝග 02 ක් සහ නියමයන් 03 ක් ද, 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 31 ක් ද ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.
එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව පාර්ලිමේන්තු ප්‍රශ්න ඇසීම ද ලබන 22 වැනිදා සිට ආරම්භ වේ. පෙරවරු 10.00 සිට 11.00 දක්වා ඒ සඳහා කාලය වෙන් වේ.
පාර්ලිමේන්තුවට කථානායකවරයා විසින් අද (10) පෙරවරුවේ ඉදිරිපත් කරන ලද 2019 වර්ෂයේ අවසන් කාර්තුව සඳහා වන මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව සහ මැතිවරණ කොමිෂන් සභාවේ 2019 වසරේ තුන්වන කාර්තුව සඳහා වන කාර්ය සාධන වාර්තාව යන වාර්තා පිළිබඳ, ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් ලෙස සභාව කල් තැබීමේ විවාදය ලබන 23 සහ 24 යන දිනවලදී පැවැත්වෙනු ඇත.
මෙයට අමතරව ලබන 25 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන දිවංගත සුරංගනී එල්ලාවල මහත්මිය සහ ආර්.එම්.පී. රත්නායක මහතා පිළිබඳව ශෝක ප්‍රකාශ යෝජනාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
මෙම රැස්වීමට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල යන මහත්වරු සහ අමාත්‍යවරු වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි යන මහත්වරු ද, මන්ත්‍රීවරු වන රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදියුදීන් සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු ද සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






