"පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තමන්ගේ වෘත්තියභාවය වැඩි දියුණු කරගත යුතුයි" - අගමැති මහින්ද රාජපක්ෂ මහතා |
දිනය : | 2020-08-25 |
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තමන්ගේ වෘත්තියභාවය වැඩිදියුණු කර ගැනීමට පියවර ගතයුතු බවත්, සෑම විටම පාර්ලිමේන්තු සභාවාරයන්ට සහභාගි වෙමින් පුස්තකාලය පරිහරණය කරමින්, වෘත්තිමය කටයුතු වැඩිදියුණු කර ගැනීමට කටයුතු කළ යුතු බවත්, අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
“ඉස්සර වගේ නෙවෙයි දැන් මන්ත්‍රී වුණා කියලා විශේෂ සැලකිල්ලක් සමාජයෙන් ලැබෙන්නෙ නෑ. ඒ නිසා තමන්ගෙ වෘත්තීයභාවය දියුණු කරගන්න ඕනෑ කියලා මම හැමෝටම කියනවා. වෘත්තීයභාවය දියුණු කරගන්න මන්ත්‍රීකම, වයස බාධාවක් කර ගන්න එපා” යැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රීවරයන් සඳහා පාර්ලිමේන්තු කටයුතු හා පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදි එක්වෙමිනි.
පාර්ලිමේන්තුවට තේරි පත් වූ නවක හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් 115 ආසන්න පිරිසක් මෙම වැඩමුළුවට සහභාගි වී සිටි අතර, ආරම්භක උත්සවයෙන් පසු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ප්‍රධාන කාර්ය මණ්ඩලය විසින් වැඩමුළුව මෙහෙයවන ලදි. මෙම අවස්ථාවට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, සභානායක හා විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක සහ මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුද සහභාගීව සිටියහ.
පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී පාර්ලිමේන්තු සභාවේ පිළිවෙත් හා ක්‍රියාපටිපාටින්, ස්ථාවර නියෝග, වරප්‍රසාද හා සම්ප්‍රදායයන්, ආචාරධර්ම, කාරක සභා, පාර්ලිමේන්තු ලේඛන, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව පුළුල් අවබෝධයක් නවක මන්ත්‍රිවරයන් වෙත ලබා දීමට අපේක්ෂිතය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.
“මට මතකයි මගේ පියා කිව්වා 1945 එතුමා ප්‍රථමවරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ආපු වෙලාවේ, බණ්ඩාරනායක මහත්තයා පාර්ලිමේන්තුව වටේ එක්කන් ගිහින් පෙන්නලා ඒ පිළිබඳව දැනුවත් කරපු විදිහ. ඔබ සියලු දෙනාට පාර්ලිමේන්තුවේ තුළින් තමයි අත්දැකීම් ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ කටයුතු කරද්දී ඔබට ඒ අත්දැකීම ලැබෙනවා.
පහුගිය මැතිවරණය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක කරන්න බැරි මහ ඡන්දයක්. ඒ සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ 2/3 ක බහුතරයක් ගත්ත නිසා පමණක් නෙමෙයි. 1946 ආරම්භ වූ පැරණිම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය මැතිවරණයෙන් එක් ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි වූ නිසාත් නොවෙයි. ඒ හරහා ජනතාව අපට හොඳ පණිවිඩයක් ලබා දීලා තියෙනවා.
මේ ඡන්දෙදි කිසිම දේශපාලන පක්ෂයකට සල්ලි බලෙන් ලොකු ප්‍රචාරක වැඩ ගෙනියන්න ලැබුණෙ නෑ. පෝස්ටර් , කටවුට් ගහන්න බැරි උනා. සල්ලි දිලා බස් දාලා සෙනග ගෙන ඒම් නෑ. හැම තැනකම සෞඛ්‍ය නීති රීති අනුව තමයි වැඩ කළේ. නමුත් ජනතාව 71% ඡන්ද පොළට ඇවිත් තමන්ගේ ඡන්දය දුන්නා. මේකෙන් ජනතාව රටට තියෙන ආදරේ වගේම නිවැරදි වැඩපිළිවෙළකට, ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ගෞරවය අපට පැහැදිලියි. මහා පණිවිඩයක් අපි හැමෝටම දීල තියෙනවා.
අපි බලන්න ඕනේ මේ වතාවෙ ජනතාව ඡන්දය දුන්නේ කාටද කියලා. මොන දේශපාලන පරපුරකින් පැවත ආවත් වැඩක් නැත්නම්, වැඩ බැරි නම් ගෙදර යැව්වා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්න කියල හිතන්නත් බෑ. උගත්කම වගේම රටට ආදරේ නම්, වැඩ කරන්න පුළුවන් නම් පමණයි මිනිස්සු ඡන්දය දෙන්නේ. උගත් උනාට වැඩක් නෑ ජනතාව පවරපු රාජකාරිය හරියට කරන්නෙ නැත්නම්. ලොකු ද පොඩි ද කියලා බලන්නේ නැතිව, වරාය ද ගුවන් සේවා ද මැටි ද කියලා බලන්නේ නැතිව ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නෙ. ජනතාවට ඕනේ වැඩ කිරීම, ඔවුන් එක්ක සම්බන්ධතාවය තබා ගැනීම.
මම 1970 පාර්ලිමේන්තුවට තේරිලා පත්වෙලා ආවට පස්සෙ තමයි නීති විද්‍යාලයට ඇතුළත් වුණේ. මං පාර්ලිමේන්තු යන අතරතුර නීති විද්‍යාලයටත් ගිහිල්ලා ඉගෙන ගත්තා. එදා ඉන්ර්ටනෙට් පහසුකම් තිබුණේ නෑ. අද මෙහේ ඉඳන් විදේශීය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා හරි ඉගෙන ගන්න පුළුවන්. ඒ කිසි දෙයක් නැති කාලේ මන්ත්‍රිවරු හැටියට අපි විභාගවලට වාඩි උනා. අන්තිමට 1977 පැරදුනු වෙලාවේ ඉතිරි වුණේ ඉගෙන ගත්ත දේ. මොකද හැමදාම දිනනවා කියලා නෑ. පැරදුණු කාලේ නීති විද්‍යාලයට ගිහිල්ලා නීතීඥවරයෙක් වෙච්ච ප්‍රයෝජනය මට ගන්න පුළුවන් උනා.
දැන් පාර්ලිමේන්තුවට ආපු ගමන් ඇමැතිකමක් බලාපොරොත්තු වෙනවා. නියෝජ්‍ය ඇමතිකමක් බලාපොරොත්තු වෙනවා. අපිට රටට වැඩ කරන්න පුළුවන් ඇමතිකමක් දෙන්න කියනවා. එහෙම බලාපොරොත්තු වෙන එක හොඳයි. හැබැයි මතක තියාගන්න ජනතාව පාර්ලිමේන්තුවට තෝරලා එවන්නේ ඇමැති කෙනෙක්ව නෙමෙයි, මන්ත්‍රී කෙනෙක්ව. ජනතාව හිතන්නේ ඇමතිවරයෙක් හදාගන්න නෙමෙයි. තමන්ව නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් හදන්න. මොන බලසම්පන්න ඇමතිකම තිබුණත් තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් වෙන එක තමයි රටට මේ මොහොතේ වැදගත්.
ඒ වගේම මතක තියාගන්න ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි කෙනාට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. ඇමැතිකමටම දේශපාලනය කළ කෙනාට මන්ත්‍රීකමේ වගකීම් ඉටු කරන්න බෑ. එහෙම අයට දේශපාලනයේ හොඳ අනාගතයක් නැති බවත් අපි තේරුම් ගන්න ඕනේ. මම ආණ්ඩුවල හිටපු කාලය වගේම කාලයක් විපක්ෂයේ ඉඳලා තියෙනවා. විපක්ෂවල දීර්ඝ කාලයක්.
දැවැන්ත ව්‍යවස්ථා වෙනසක් ජනතාව අපේක්ෂා කරනවා. අලුත් ව්‍යවස්ථාවෙන් ඉතිහාසයේ වෙච්ච වැරදි නිවැරදි කරගනීවි කියලත් ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි සියලු පෞද්ගලික න්‍යායපත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තුව මුලින්ම ඉටු කරන්න ඕනේ. 1977 ඉඳන් මේ දක්වා අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කරපු ව්‍යවස්ථාවක් තියෙන්නේ. මේක කාලීනව සංශෝධනය විය යුතුයි.
ව්‍යවස්ථාව කියන්නේ එක පාර්ශ්වයක උරුමයක් නෙමෙයි. ඒක අපි කාටත් බලපාන මූලික නීතිය. ඒකේ තියෙන හැම කොමාවක්ම, නැවතීමේ ලකුණක්ම අපේ ජීවිතයට බලපානවා. ඒ නිසා ජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියේ දී දේශපාලන පක්ෂ භේදයක් තියාගන්න එපා. මේක අපේ වගකීමක්. මෙතෙක් තිබුණ ව්‍යවස්ථාවේ සාධනීය සියලු දේ අපි උකහා ගන්න ඕනේ. ඒවාට සද්භාවයෙන් තමන්ගේ අදහස් , සහය පළකරන්න ඕනේ”.
මෙහිදි අදහස් දැක්වූ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කළේ රටේ පවතින ගැටලු රාශියක් විසඳා ගැනීමේ අභියෝගය අභිනව පාර්ලිමේන්තුව හමුවේ පවතින බවයි. පාර්ලිමේන්තුව සමස්ත රටම නියෝජනය කිරීමේ පිළිඹිඹුවක් වන බැවින් වගකීම් සහගතව කටයුතු කිරීමට වග බලා ගැනීමත් එම වගකීම් නිසි පරිදි ඉටු කිරීමට මෙම වැඩසටහන මහඟු පිටිවහලක් වනු ඇති බවයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද මෙහිදි අදහස් දැක්වූ අතර, ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුවක් තුළ මන්ත්‍රීවරයන් ගෞරවාන්විතව හා වගකීම් සහගතව කටයුතු කිරීම ඉතාම වැදගත් බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් වැඩසටහන සඳහා සහභාගි වූ අග්‍රමාත්‍යවරයා ඇතුළු සම්භාවනිය අමුත්තන් වෙත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු සංගෘහිත කළ “පාර්ලිමේන්තු සංහිතා” සාර සංග්‍රහය පිළිගැන්වීමද මෙහිදි සිදුවිය. නවක මන්ත්‍රීවරුන් ගේ දැනුවත්භාවය ඉහළ නැංවීම පිණිස වන මෙම වැඩසටහන හෙට දවසේදීද පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 දී පැවැත්වීමට නියමිතය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








