ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජනාධිපතිතුමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම හෙට පස්වරු 03.00 ට පාර්ලිමේන්තුවේදී

දිනය : 2020-08-19

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට(20) ප.ව 03.00 ට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට  නියමිතයි. නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ද අතිගරු ජනාධිපතිතුමාගේ අතින් සිදුවේ.

අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට එතුමාගේ උපදෙස් මත, කටයුතු යොදා ඇති අතර, ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වේ. ඒ වෙනුවට එතුමා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත අචාර දැක්වීමක් සිදු කෙරේ.

එදින ප.ව. 02.15 ට ආරාධිත අමුත්තන්ගේ  පැමිණීම සිදු වන අතර, එහිදී  පළමුවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය  සිදු වීමට නියමිතයි. අනතුරුව නව කථානායකවරයාගේ පැමිණීමෙන් පසු,  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම  සිදු වන අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

එහි දී නව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිතයි.

වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි. එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර අතිගරු ජනාධිපතිතුමාට ආශිර්වාද  කරනු ලබයි. නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතුවලට අදාළව ත්‍රිවිධ හමුදාව සහ පාසල් සිසුවියන් අද දවස පුරා පාර්ලිමේන්තුව පරිශ්‍රයේ සිට පෙර පුහුණුවීම්වල නිරත වනු දැකගත හැකිය.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට පෙරාතුව හෙට(20) පෙරවරු 9.30 ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම ආරම්භ වන අතර, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1ට අනුකූලව කාථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවේ. අනතුරුව නව කථානායකවරයා ඉදිරියේ සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් දීම සිදු කරති. නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කර ගැනීම ඉන් අන්තුරුව සිදුවේ.

එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි යන කවර හෝ එක් භාෂාවකින් දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දීමට හැකියාව පවතින අතර, භාෂාත්‍රයෙන්ම පිළියෙල කරන ලද ඊට අදාල ලේඛන සභා මේසය මත තැබීමට කටයුතු කෙරේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි