ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දිවංගත ආරුමුගම් තොණ්ඩමන් මහතාට පාර්ලිමේන්තුවේ දී අවසන් ගෞරව

දිනය : 2020-05-28

ලංකා කම්කරු  කොංග්‍රසයේ නායක හා ප්‍රජා සවිබල ගැන්වීම් සහ  වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ,  අභාවප්‍රාප්ත ගරු ආරුමුගම්  තොණ්ඩමන්  මහතාගේ දේහයට අතිගරු ජනාධිපති  ගෝඨාභය  රාජපක්ෂ  මැතිතුමා සහ  අග්‍රාමාත්‍ය  ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (28) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව  දැක්වූහ.

එමෙන්ම අටවන පාර්ලිමේන්තුවේ කථානායක  ගරු කරු ජයසූරිය මැතිතුමා ,හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කැබිනට් අමාත්‍යවරුන් සහ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  රැසක් අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ. ඔවුනට අමතරව  හිටපු  කථානායකවරු, තානාපති නිලධාරීන්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා, පවුලේ ඥාතීන් මෙන්ම  පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගි විණි.

අද පෙ.ව.11 ට පමණ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වූ අවස්ථාවේදී  ගරු  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ,හිටපු කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමා ,පක්ෂ නායකයන් , මැති ඇමතිවරු හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා  විසින්  භාරගැනීමෙන්  අනතුරුව රාජ්‍ය ගෞරව  සදහා රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තුවේ  විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කරන ලදි.

අනතුරුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමෙන් පසුව ශෝක ප්‍රකාශයක්ද සටහන් කළේය. ඉන් පසු ගරු අගමැතිතුමන්, හිටපු ගරු කථානායකතුමන්, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ,තානාපති නිලධාරිහු මෙන්ම  පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය හා කාර්‍ය මණ්ඩලය ද අනෙක් අමුත්තන් සිය  අවසන්  ගෞරව පුද කිරීමට  එක් වූහ.

අවමංගල්‍ය කටයුතු අවසන් වූයේ අග්‍රාමාත්‍යතුමන් හා හිටපු  කථානායකතුමන් ප්‍රමුඛවත්වය සහිතව පැමිණ රතු පලස මතින් දේහය අවමංගල්‍ය රථයෙහි යළිත් තැන්පත් කිරීමෙනි.

ලංකාවේ අවවරප්‍රසාදිත ජන කොටසක් ලෙස සැලකෙන  වතු කම්කරුවන්ගේ ආර්ථික හා සමාජයීය සුභසිද්ධිය පිණිස සිය මුත්තණුවන් වන සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන්  දේශපාලනයට පිවිසි සෞම්‍යමූර්ති ආරුමුගම් රාමනාදන් තොණ්ඩමන් මහතා පළමුවර පාර්ලිමේන්තුවට පිවිසියේ 1994 අගෝස්තුවේදී ය. පසුගියදා හදිසියේ අභාවයට  පත්වන විට ඔහුගේ පාර්ලිමේන්තු දිවියට වසර 24 ඉක්මවා තිබිණි. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව, මැයි මස 31 වැනි දින නුවරඑළිය  නෝවුඩ් ක්‍රීඩාංගණයේදී ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

 

2 3

1

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි