ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ණ විශ්වාසය පලවේ

දිනය : 2020-05-12

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 79 වන රැස්වීම අද (11) පස්වරුවේ එහි සභාපති ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් මහතා, මහින්ද සමරසිංහ මහතා, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාද ඊට එක්ව සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආරම්භයේ දී සභාපති කරු ජයසූරිය මහතා විසින් ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය පිළිබඳව එහි සාමාජිකයන් දැනුවත් කරන ලදී.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2018 වර්ෂයේ දී තරඟ විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් විමර්ශන නිලධාරීන් 200 ක් තෝරා ගෙන ඇතත්, එම විමර්ශන නිලධාරීන් හට මෙතෙක් පත්වීම් ලබා දීම ප්‍රමාද වීම හේතුවෙන් කොමිෂන් සභාවේ වැඩකටයුතු අඩාල වීමට ඉඩ ඇති හෙයින් ඒ පිළිබදව මහා භාණ්ඩාගාරයේ අවධානය යොමු කරවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සභාව විසින් එහි මහලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දෙන ලදී. එමෙන්ම ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමති ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරවීමට ද මෙහිදී කරු ජයසූරිය මහතා පියවර ගත්තේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳව මතුවී ඇති ගැටලුව පොලිස් කොමිසමේ සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරුන් විසින් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස විය.

මානව හිමිකම් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව ලබා ඇති ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. විශේෂයෙන් මුදල් කොමිෂන් සභාව දැනට පළාත් සභා වෙත අනුමත කර ඇති ප්‍රතිපාදන එම පළාත් සභාවන් වෙත නොලැබීම නිසා පළාත් සභාවන්හි එදිනෙදා වැඩ කටයුතු වලට ඇතිවී තිබෙන බාධාවන් පිළිබඳවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු විය.

පවතින දුෂ්කර වාතාවරණය හමුවේ සිය වගකීම ඉටු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉටුකරන කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ ප්‍රසාදයට ලක්වූ අතර මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳ පූර්ණ විශ්වාසය ද පළ විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම් අවම වශයෙන් මසකට දෙවරක් වත් පැවැත්විය යුතු බව සඳහන් කොට ඇති බැවින් එසේ රැස්වීම් පැවැත්වීමට කටයුතු කරන අවස්ථාවන්හිදී ඇතැම් මාධ්‍යයන් විසින් එල්ල කරන විවිධ චෝදනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අප්‍රසාදයට ලක් විය.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි