දශක ගණනක් පැරණි ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔතානි චෝජුං හිමියන් ලබාදෙන ලද දායකත්වය ඉමහත් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

දිනය : 2020-02-18

Print

දශක ගණනක් පැරණි ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔතානි චෝජුං හිමි ප්‍රමුඛ හොංගන්ජි පදනම විසින් ලබාදෙන ලද දායකත්වය ඉමහත් බව අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. ඒ මහතා මේ අදහස් දැක්වූයේ අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ජපානයේ හොන්ගන්ජි පදනම සහ කියෝතෝ හි හොංගන්ජි විහාරස්ථානයේ අතිපූජ්‍ය ඔතානි චෝජුං ස්වාමීන්වහන්සේ වෙත ගෞරව සාසන රත්න සම්මානය සහ සන්නස් පත්‍රය පිරිනැමීමේ උළෙලට සහභාගී වෙමිනි.

 

දීර්ඝකාලීන ඉතිහාසයක් හිමි ‍ජපානයේ හොංගන්ජි සංස්කෘතික ප්‍රවර්ධන පදනම ලොවපුරා බෞද්ධ ප්‍රජාවේ සමාජ අර්ථික හා සංස්කෘකිත සබඳතා වැඩිදියුණු කිරීම සඳහා මහත් දායකත්වයක් ලබා දී තිබේ. අතීතයේ සිටම ජපානය සහ ශ්‍රී ලංකාව එකිනෙකා වෙනුවෙන් දුෂ්කර අවස්ථාවන්හිදී පෙනී සිටි බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා හොංගන්ජි පදනම විසින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරය සඳහා ජපාන කුටියක් පරිත්‍යාග කිරීම පිළිබඳවද සිය ස්තූතිය පල කළේය.

 

ජපානයේ හිටපු අධිරාජ්‍යයාගේ සහෝදරයා වන ඔතානි චෝජුං හිමියන් ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් සහ ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නගෝයා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අතර විශේෂයෙන් මහායාන ධර්මය සහ ථෙරවාදී බුදුදහම අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කිරීමට කටයුතු කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය, නියෝජ්‍ය කථානායක ගරු ආනන්ද කුමාරසිරි, සභානායක අමාත්‍ය ගරු දිනේශ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍ය ගරු නිමල් ලන්සා, අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය ගරු තිලංග සුමතිපාල යන මහත්වරුන් සහභාගී වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, සෙල්වම් අඩෛක්කලනාදන්, පාලිත රංගේ බණ්ඩාර, ඒ.එච්.එම්.ෆවුසි, මයන්ත දිසානායක, හර්ශණ රාජකරුණා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුමේධා ජී ජයසේන යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා ඇතුළු ජපාන දූත පිරිසක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම ආරාධිතයන් රැසක්ද සහභාගී වූහ.

 

1 2

3