රජයේ ආයතන 844 ක 2018 මුදල් වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

දිනය : 2020-02-18

Print

රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන 844 ක 2018 මුදල් වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එහි සභාපති  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, පාර්ලිමේන්තුවේදී අද (පෙබරවාරි 18) සභාගත කළේය. එම වාර්තාව පිටු 800 කට අධිකය.

 

රජයේ ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම ,මූල්‍ය පාලනය හා කාර්‍ය සාධනය පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව ඇගයෙන අතර , එලෙස සැකසුණු වාර්තාව සභාපතිවරයා විසින් මෙලෙස සභාගත කරන ලදී.

 

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ මෙම පරිගණක ජාලගත වැඩසටහනට අනුව,  ඉහළ කාර්‍යසාධන මට්ටමක් ළගාකර ගත් ආයතන 110 කට ආසන්න සංඛ්‍යාවකට සම්මාන පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනිදා (පෙබරවාරි 28) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරේ.

 

08 වැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට  අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්යසාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහන 2015 මුදල් වර්ෂය පදනම් කරගෙන 2016 වර්ෂයේදී ආරම්භ කළේය.

 

මෙම වැඩසටහන සාර්ථක ලෙස 2015, 2016, 2017 වර්ෂ මෙන්ම 2018 මුදල් වර්ෂය සදහා ද නොකඩවා ක්‍රියාත්මක ය. 

 

ඉහළ කාර්ය සාධන මට්ටමක් ළඟා කර ගත් ආයතන ඇගයීම සඳහා පෙර පැවැති සම්මාන ප්‍රදානෝත්සව හිටපු ජනාධිපතිතුමා,  අගමැතිතුමා සහ කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණ.