“BestWeb.lk 2019” තරගයේ දී පාර්ලිමේන්තු වෙබ් අඩවියට රන් සම්මාන ද්විත්වයක් |
දිනය : | 2019-08-09 |
|
LK වසම් ලේඛකාධිකාරය මගින් සංවිධානය කළ “BestWeb.lk” තරඟාවලියේ දී හොඳම සිංහල වෙබ් අඩවිය සහ හොඳම දෙමළ වෙබ් අඩවිය යන අංශ සඳහා රන් සම්මාන දිනාගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය (parliament.lk) සමත් විය. මෙහි සම්මාන ප්‍රදානෝත්සවය 2019 අගෝස්තු මස 8 වැනි දින කොළඹ මරිනෝ බීච් හෝටලයේ දී පැවැත්වුණි. පාර්ලිමේන්තු වෙබ් අඩවියට රාජ්‍ය අංශයෙන් ලෝකඩ සම්මානය ද හිමි විය.
මෙවර තරඟාවලිය සංවිධානය කෙරුණේ 9 වැනි වරට වන අතර, ජයග්‍රාහකයින් තෝරාගනු ලැබුවේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව, ආගන්තුක පිවිසුම් වාර ගණන සහ විනිශ්චය මණ්ඩලයකින් ලබාදෙන ලකුණු යන සාධක සලකා බැලීමෙන් ය. සිය පරිශීලකයන්ට ලබා දෙන අන්තර්ගතයේ තත්වය, ග්‍රැෆික් හා නිර්මාණාත්මක තත්වය, කලාත්මකභාවය සහ තාක්ෂණික භාවිතාව පදනම් කරගනිමින් වෙබ් අඩවි විනිශ්චය කරන ලදී. තරඟාවලිය සඳහා වෙබ් අඩවි 400 කට වැඩි ප්‍රමාණයක් කාණ්ඩ 12 ක් යටතේ තරඟ වැදුණි. ඊට අමතරව විශේෂ කාණ්ඩ හතරක් සඳහා ද සම්මාන පිරිනැමිණි. මෙම තරඟාවලියේ දී මීට පෙර 2009, 2010, 2013, 2014, 2015, 2017 සහ 2018 යන වර්ෂවල දී ජයග්‍රහණය කිරීමට පාර්ලිමේන්තු වෙබ් අඩවිය සමත් වී තිබේ.
තරඟාවලියේ ජයග්‍රාහකයින්, විද්‍යාර්ථීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වූ අතර, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, ඩී.සී. දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විය.
පින්තූර: BestWeb.lk ෆේස්බුක් පිටුවෙනි