“ඉ-ස්වාභිමානී 2018” සම්මාන උළෙලේ දී පාර්ලිමේන්තුවේ ජංගම යෙදුම ජයග්‍රහණය කරයි |
දිනය : | 2018-11-29 |
|
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කළ ‘ඉ-ස්වාභිමානී ඩිජිටල් සමාජ බලපෑම් සම්මාන - 2018’ උළෙලේ දී රාජ්‍ය හා පුරවැසි සබඳතා කාණ්ඩයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජංගම යෙදුමට (mobile app) හිමිවිය. මෙම උත්සවය 2018 නොවැම්බර් මස 30 වැනි දින කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි. පිට පිට අටවැනි වරටත් පැවැත්වූ මෙම තරඟයේ දී පාර්ලිමේන්තුවේ ජංගම යෙදුම ජයග්‍රහණය කළ දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2016 වසරේදී ද ජයග්‍රහණය කළේය.
ඉ-ස්වාභිමානී යනු ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරණයේ විශිෂ්ටතා අගයනු වස් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් 2009 වර්ෂයේ දී ආරම්භ කරන ලද තරඟාවලියකි. මෙය එක්සත් ජාතීන්ගේ තොරතුරු සමාජය පිළිබඳ වූ ලෝක සමුළුවේ (WSIS) සැලැසුම තුළ ස්ථාපනය කරන ලද ගෝලීය මුල පිරීමක් වන ලෝක සමුළු සම්මාන (World Summit Award) වෙත අවතීර්ණ වීමේ මාවතක් වශයෙන් ද ක්‍රියාකරයි. මෙවර තරඟාවලිය කාණ්ඩ නවයක් යටතේ පැවැත්වුණු අතර විවිධ ක්ෂේත්‍රවල නියුතු කීර්තිමත් විශේෂඥයින්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් (ජූරියක්) මඟින් ජයග්‍රාහකයින් තෝරාගන්නා ලදී.
විනිශ්චය මණ්ඩලයේ ඇගයීම පහත දැක්වේ:
“ශ්‍රී ලංකාව තුළ ජංගම උපාංග සහ යෙදුම් භාවිතය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින කාලයක දී, මහජන යහපත උදෙසා පාර්ලිමේන්තුවේ සහ එහි කාර්යාල හා මන්ත්‍රීන්ගේ කටයුතුවලට පුරවැසියන් සම්බන්ධ කරනු වස් තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම කාලීන සහ වැදගත් මුලපිරීමකි. මෙම යෙදුම මඟින් මෙරට සියලු පුරවැසියන්හට තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ ඔවුන්ගේ කාර්යාල සමඟ කටයුතු කිරීමට අපක්ෂපාතී හා සම අවස්ථාවක් ලැබීම තුළින්, සිය ගැටලු, ප්‍රශ්න සහ අනෙකුත් කාරණා නිරාකරණය කරගැනීමට සහ විසඳාගැනීමට ඍජු ප්‍රවේශයක් සලසා දේ.
පාර්ලිමේන්තුවේ කටයුතු මෙම යෙදුම තුළින් සජීවීව විකාශය කිරීම මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු, හැසිරීම සහ තීරණවල පාරදෘශ්‍යතාවය බලදායී කරවන අතර එකී කටයුතු පිළිබඳ මහජනතාවගේ අවබෝධය වැඩිකරවනු ලැබේ.
රාජ්‍ය අංශයේ පළමු ත්‍රෛභාෂා ජංගම යෙදුම වන මෙය එය අර්ථාන්විත කරනුයේ, සියලු පුරවැසියන්හට භාෂා බාධකයක් නොමැතිව කටයුතු කිරීමට ඉඩප්‍රස්ථා සලසා සැබෑ ඩිජිටල් සමාජ බලපෑමක් ඇතිකරමින් රට හැඩගැස්වීම සඳහා සම්බන්ධ වීමට අනුබල දීමෙනි.”