ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දහහත්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 2001/10/03

ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සඳහා 41අ සිට 41ඌ දක්වා ව්‍යවස්ථා ද ඇතුළුව VII A පරිච්ඡේදය ඇතුළත් කිරීම.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළව IX පරිච්ඡේදය ඇතුළත් කිරීම.

ජනාධිපතිතුමා විසින් සිදුකරන පත්වීම් පිළිබඳව වූ 65 වන වගන්තිය සංශෝධනය කිරීම.

මැතිවරණ කොමිසමට අදාළ XIVA පරිච්ඡේදය ඇතුළත් කිරීම.

අධිකරණ සේවා කොමිසමට අදාළ XVA පරිච්ඡේදය ඇතුළත් කිරීම.

ජාතික පොලිස් කොමිසමට අදාළ XVIIIA පරිච්ඡේදය ඇතුළත් කිරීම.

දහසයවන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1988/12/17

පළාත් සභා මන්ත්‍රීවරුන්ට ද තමන්ගේ කාර්ය ඉටුකිරීමේදී ජාතික භාෂා දෙකෙන් කවරක් වුවද භාවිතා කිරීමට හැකිවනු පිණිස 20 වන වගන්තිය සංශෝධනය කිරීම.

සිංහල සහ දෙමළ පරිපාලන භාෂා සහ ව්‍යවස්ථාදායකයේ භාෂා බවට පත්කිරීම පිණිස 22 වන හා 23 වන ව්‍යවස්ථා ආදේශ කිරීම.

සිංහල සහ දෙමළ අධිකරණවල භාෂා බවට පත්කිරීම සඳහා 24 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

යම් නීතියක විධිවිධාන සහ මේ පරිච්ඡේදයේ විධිවිධාන අතර යම් අනුකූලතාවක් ඇති වුවහොත්, මෙහි විධිවිධාන බලපැවැත්වීම සඳහා 25 (අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.

දහහතරවන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1988/05/24

ඇතැම් නඩුවලදී ජනාධිපතිවරයාගේ මුක්තීන් ඇතැම් අවස්ථාවලදී ක්‍රියාත්මක නොකරනු පිණිස 35වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 දක්වා වැඩිකිරීම පිණිස 62 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

ජනමත විචාරණයක් පිළිබඳ පෙත්සමක් ඉදිරිපත්කර ඇති අවස්ථාවකදී පනත් කෙටුම්පතක් සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් නොකළ යුතු බවට කොන්දේසි ඇතුළත් කිරීම සඳහා 80 වන ව්‍යවස්ථාව සංශෝධනය.

සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටුවීම සහ මැතිවරණ දිස්ත්‍රික්ක කලාපවලට බෙදීම පිළිබඳව වූ 96 (අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.

96(අ) ව්‍යවස්ථාව බලාත්මක කිරීම සඳහා 98 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 99 වන වගන්තිය ආදේශ කිරීම.

මහ මැතිවරණයක දී එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව මත පදනම්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරා ගැනීම පිළිබඳව වූ 99(අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.

ජනමත විචාරණ පිළිබඳ පෙත්සම් ද ඇතුළුව මැතිවරණ පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය පුළුල් කිරීම සඳහා 130 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

පහළොස්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1988/12/17

මැතිවරණ දිස්ත්‍රික්ක කලාපවලට බෙදීම අවලංගු කිරීම සඳහා 96(අ) ව්‍යවස්ථාව ඉවත් කිරීම.

එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව, මැතිවරණ කොමසාරිස්වරයා විසින් සහතික කිරීම පිළිබඳව වූ 98 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

සමානුපාතික නියෝජන ක්‍රමයේ සීමාව අටෙන් එකේ සිට විස්සෙන් එක දක්වා අඩුකිරීමට සහ මැතිවරණ දිස්ත්‍රික්ක කලාපවලට බෙදීම අවලංගු කිරීමට 99 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

ජනවාර්ගිකව හෝ අන්‍යාකාරයෙන්, කිසියම් ප්‍රජාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව, එම ප්‍රජාවේ ජාතික ජනගහණ අනුපාතය හා අනුරූප වන බව සහතික කිරීම සඳහා 99අ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

දහතුන්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1987/11/14

දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කිරීමට සහ ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාවක් කිරීම සඳහා 18 වන ව්‍යවස්ථාව සංශෝධනය.

අභියාචන අධිකරණ බලය පිළිබඳව වූ 138 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

සෑම පළාතක් සඳහාම පළාත් සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ව්‍යවස්ථා 154(අ) සිට 154(ට) ද ඇතුළුව XVII A ‍ඡේදය ඇතුළත් කිරීම.

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ හදිසි අවස්ථා නියෝග සෑදීම සම්බන්ධයෙන් වූ 155 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

පළාත් සභා මගින් සාදනු ලබන ප්‍රඥප්තිද ලිඛිත නීති යන නිර්වචනය යටතට ඇතුළත් කිරීම සඳහා 170 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

පළාත් නවය නම් කිරීම සඳහා අටවන උපලේඛනය ද, පළාත් සභා ලැයිස්තුව, සංවෘත ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව විස්තර කිරීම සඳහා නවවන උපලේඛනය ද ඇතුළත් කිරීම.

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි