ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

විසි එක්වන සංශෝධනය

විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාගත කරන්න:-

 පනත්‍ කෙටුම්පත බාගත කරන්න
   
 පනත බාගත කරන්න

 

 විසිඑක්වන සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

දහහත්වන සංශෝධනය දක්වා සංශෝධන

පළමුවන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1978/11/20

යම් ගණයකට අයත් කාරණා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වෙත පැවරී ඇති අධිකරණ බලය අභියාචනාධිකරණය විසින් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි විධිවිධාන සැලැස්වීම සඳහා 140 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.


දෙවන සංශෝධනය - සහතිකය සටහන් කළේ – 1979/02/26

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අයත් වූ පිළිගත් දේශපාලන පක්ෂයේ ඔහුගේ සාමාජිකත්වය, ඉල්ලා අස්වීම නිසා, පක්ෂයෙන් පහ කිරීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා අවසාන වන අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ කටයුතු සඳහා 161 වන ව්‍යවස්ථාවේ (ඈ) ඡේදයේ (ii) වන අනුඡේදය පරිච්ඡින්න කොට අලුත් අනුඡේදය ආදේශ කිරීම.


තුන්වන සංශෝධනය - සහතිකය සටහන් කළේ – 1982/08/27


ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් වැඩිදුර කාලයක් සඳහා තමා තෝරා පත් කර ගැනීමෙන් ධූරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ තම අභිලාෂය තම ප්‍රථම ධූර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමෙන් පසු යම් අවස්ථාවක, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැකි වීමට විධිවිධාන සලස්වනු සඳහා 31 වන ව්‍යවස්ථාවට (3අ) අනුව්‍යවස්ථාව ඇතුළත් කිරීම සහ එම ව්‍යවස්ථාවෙහි (4) වන අනුව්‍යවස්ථාව ඉවත් කිරීම.

ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගන්නා ලදැයි ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තා සිය ධූරකාලයෙහි සති දෙකක් ඉකුත් වීමට පෙර ධූරය භාර ගැනීම හිතාමතාම පැහැර හැරියහොත් ජනාධිපති ධූරය හිස් වීමට විධිවිධාන සැලැස්වීම සඳහා 38 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

ජනාධිපතිවරයා ධූරය දැරීම සම්බන්ධයෙන් 160 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.


හතරවන සංශොධනය – සහතිකය සටහන් කළේ - 1982/12/23

ප්‍රථම පාර්ලිමේන්තුව පවත්නා කාලය තවත් වර්ෂ හයක කාලසීමාවක්, එනම් 1989 අගෝස්තු 04 වන දින තෙක් දීර්ඝ කිරීම සඳහා 161 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.


පස්වන සංශෝධනය – සහතිකය සටහන් ‍කළේ - 1983/02/25

ප්‍රථම පාර්ලිමේන්තුවේ පුරප්පාඩුවක් පිරවීම සඳහා මන්ත්‍රීවරයෙකු නාමයෝජනා කිරීම අදාළ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා විසින් පැහැර හැරියහොත් අතුරු මැතිවරණයක් පැවැත්වීමට විධිවිධාන සැලැස්වීම සඳහා 161 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.


හයවන සංශෝධනය – සහතිකය සටහන් කළේ - 1983/08/08

157 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව ඇතුළත් කරනු ලැබ ඇති 157අ වන ව්‍යවස්ථාව පිළිබඳව සඳහන් කිරීමට 101 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝණය කිරීමට එරෙහි තහනම සම්බන්ධයෙන් 157අ වන ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.

ඉහත 157අ ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරනු ලැබ ඇති හත්වන උපලේඛනය සඳහන් කරමින් 161 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

157අ ව්‍යවස්ථාව සම්බන්ධ ප්‍රකාශය සහ ප්‍රතිඥාව ඇතුළත් කිරීම සඳහා හත්වන උපලේඛනය එකතු කිරීම.


හත්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ - 1983/10/04

කිලිනොච්චිය නිර්මාණය කිරීම මගින් පරිපාලන දිස්ත්‍රික්ක 25 දක්වා වැඩි කිරීමට 5 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ මැතිවරණ දිස්ත්‍රික්ක 25 දක්වා වැඩි කිරීම සඳහා 96 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

මහාධිකරණ කොමසාරිස්වරයන් පත්කිරීම සම්බන්ධයෙන් 111අ වන ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.

කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස එකතු කිරීම සඳහා පළමුවන උපලේඛනය සංශෝධනය කිරීම.


අටවන සංශෝධනය – සහතිකය සටහන් කළේ - 1984/03/06

ජ්‍යෙෂ්ඨ නීතීඥවරයන්, රාජ නීතීඥවරයෙකු විසින් භුක්ති විදින ලද වරප්‍රසාද සහිතව ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීම පිණිස ජනාධිපතිවරයාගේ බලතල පුළුල් කිරීම සඳහා 33 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

සංශෝධිත 33 වන ව්‍යවස්ථාවට අනුව 136 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

රාජ නීතීඥ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සම්බන්ධයෙන් 169අ වන ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.


නවවන සංශෝධනය – සහතිකය සටහන් ‍කළේ - 1984/08/24

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත්කර ගැනීමට සුදුස්සන් නොවන රජයේ සේවකයන්ගේ වැටුප් පරිමාණ සකස් කිරීම සඳහා 91 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.


දසවන සංශෝධනය – සහතිකය සටහන් කළේ - 1986/08/06

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශනයක් සඳහා තුනෙන් දෙකක බහුතරයෙහි අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා 155 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.


එකොළොස්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ - 1987/05/06

මුල් අවස්ථා අපරාධ අධිකරණ බලතල මහාධිකරණයෙන් ඉවත් කිරීම සඳහා 111 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

උපලේඛනගත රජයේ නිලධාරීන් සම්බන්ධයෙන්ද නීති පැනවීම සඳහා අධිකරණ සේවා කොමිසමට විධිවිධාන සැලැස්වීම පිණිස 112 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

සියලු මුල් අවස්ථා අධිකරණවලට අනුයුක්ත නියෝජ්‍ය පිස්කල්වරයන් පිළිබඳ අධීක්ෂණය හා පාලනය ක්‍රියාත්මක කරන්නා වූ පිස්කල්වරයකුගේ තනතුර නිර්මාණය කිරීම සඳහා 113අ වන ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.

උපලේඛනගත රජයේ නිලධාරීන් මාරුකිරීමට පමණක් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගේ බලය සීමා කිරීම සහ පිස්කල්වරුන් ද උපලේඛනගත රජයේ නිලධාරීන් අතරට ඇතුළත් කිරීම සඳහා 114 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

එක් එක් විනිශ්චය පීඨයක් සමන්විත විය යුතු විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා 146 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

පිස්කල්වරුන් වෙනුවට නියෝජ්‍ය පිස්කල්වරුන් යෙදවීම සඳහා පස්වන උපලේඛනය සංශෝධනය කිරීම.


දොළොස්වන සංශෝධනය (පනවා නොමැත)

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 1987.09.25 දින එය පළමුවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් ස්ථාවර නියෝග 47(5) යටතේ අමාත්‍යාංශ වාර්තාව ඉදිරිපත් නොකළ බැවින් ඉදිරි කටයුතු සිදු නොකරන ලදී.


දහතුන්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1987/11/14

දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කිරීමට සහ ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාවක් කිරීම සඳහා 18 වන ව්‍යවස්ථාව සංශෝධනය.

අභියාචන අධිකරණ බලය පිළිබඳව වූ 138 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

සෑම පළාතක් සඳහාම පළාත් සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ව්‍යවස්ථා 154(අ) සිට 154(ට) ද ඇතුළුව XVII A ‍ඡේදය ඇතුළත් කිරීම.

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ හදිසි අවස්ථා නියෝග සෑදීම සම්බන්ධයෙන් වූ 155 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

පළාත් සභා මගින් සාදනු ලබන ප්‍රඥප්තිද ලිඛිත නීති යන නිර්වචනය යටතට ඇතුළත් කිරීම සඳහා 170 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

පළාත් නවය නම් කිරීම සඳහා අටවන උපලේඛනය ද, පළාත් සභා ලැයිස්තුව, සංවෘත ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව විස්තර කිරීම සඳහා නවවන උපලේඛනය ද ඇතුළත් කිරීම.


දහහතරවන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1988/05/24

ඇතැම් නඩුවලදී ජනාධිපතිවරයාගේ මුක්තීන් ඇතැම් අවස්ථාවලදී ක්‍රියාත්මක නොකරනු පිණිස 35වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 දක්වා වැඩිකිරීම පිණිස 62 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

ජනමත විචාරණයක් පිළිබඳ පෙත්සමක් ඉදිරිපත්කර ඇති අවස්ථාවකදී පනත් කෙටුම්පතක් සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් නොකළ යුතු බවට කොන්දේසි ඇතුළත් කිරීම සඳහා 80 වන ව්‍යවස්ථාව සංශෝධනය.

සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටුවීම සහ මැතිවරණ දිස්ත්‍රික්ක කලාපවලට බෙදීම පිළිබඳව වූ 96 (අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.

96(අ) ව්‍යවස්ථාව බලාත්මක කිරීම සඳහා 98 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 99 වන වගන්තිය ආදේශ කිරීම.

මහ මැතිවරණයක දී එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව මත පදනම්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරා ගැනීම පිළිබඳව වූ 99(අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.

ජනමත විචාරණ පිළිබඳ පෙත්සම් ද ඇතුළුව මැතිවරණ පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය පුළුල් කිරීම සඳහා 130 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.


පහළොස්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1988/12/17

මැතිවරණ දිස්ත්‍රික්ක කලාපවලට බෙදීම අවලංගු කිරීම සඳහා 96(අ) ව්‍යවස්ථාව ඉවත් කිරීම.

එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව, මැතිවරණ කොමසාරිස්වරයා විසින් සහතික කිරීම පිළිබඳව වූ 98 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

සමානුපාතික නියෝජන ක්‍රමයේ සීමාව අටෙන් එකේ සිට විස්සෙන් එක දක්වා අඩුකිරීමට සහ මැතිවරණ දිස්ත්‍රික්ක කලාපවලට බෙදීම අවලංගු කිරීමට 99 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

ජනවාර්ගිකව හෝ අන්‍යාකාරයෙන්, කිසියම් ප්‍රජාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව, එම ප්‍රජාවේ ජාතික ජනගහණ අනුපාතය හා අනුරූප වන බව සහතික කිරීම සඳහා 99අ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.


දහසයවන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1988/12/17

පළාත් සභා මන්ත්‍රීවරුන්ට ද තමන්ගේ කාර්ය ඉටුකිරීමේදී ජාතික භාෂා දෙකෙන් කවරක් වුවද භාවිතා කිරීමට හැකිවනු පිණිස 20 වන වගන්තිය සංශෝධනය කිරීම.

සිංහල සහ දෙමළ පරිපාලන භාෂා සහ ව්‍යවස්ථාදායකයේ භාෂා බවට පත්කිරීම පිණිස 22 වන හා 23 වන ව්‍යවස්ථා ආදේශ කිරීම.

සිංහල සහ දෙමළ අධිකරණවල භාෂා බවට පත්කිරීම සඳහා 24 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

යම් නීතියක විධිවිධාන සහ මේ පරිච්ඡේදයේ විධිවිධාන අතර යම් අනුකූලතාවක් ඇති වුවහොත්, මෙහි විධිවිධාන බලපැවැත්වීම සඳහා 25 (අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.


දහහත්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 2001/10/03

ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සඳහා 41අ සිට 41ඌ දක්වා ව්‍යවස්ථා ද ඇතුළුව VII A පරිච්ඡේදය ඇතුළත් කිරීම.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළව IX පරිච්ඡේදය ඇතුළත් කිරීම.

ජනාධිපතිතුමා විසින් සිදුකරන පත්වීම් පිළිබඳව වූ 65 වන වගන්තිය සංශෝධනය කිරීම.

මැතිවරණ කොමිසමට අදාළ XIVA පරිච්ඡේදය ඇතුළත් කිරීම.

අධිකරණ සේවා කොමිසමට අදාළ XVA පරිච්ඡේදය ඇතුළත් කිරීම.

ජාතික පොලිස් කොමිසමට අදාළ XVIIIA පරිච්ඡේදය ඇතුළත් කිරීම.


 

බාගත කරන්න

දහහත් වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි