රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ 2021, 2022 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරික්ෂා කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් 2024.01.24 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා කමිටුව) කැඳවන ලදී. මෙහදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සංවිධාන ව්‍යුහය තුළ සියලුම තනතුරු පරිපාලන සේවා නිලධාරීන්ගෙන් පමණක් සැදුම්ලත් වීම ගැටලු සහගත බැවින් එම තත්වය කඩිනමින් නිවැරදි කිරීමට කෝපා කමිටුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු විය.
මේ පිළිබඳව සාකච්ඡා වුයේ රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදීය.
සාධාරණව, විනිවිද භාවයෙන් හා සමානුකුලව මහජනතාවට සේවය කිරීමට, කාර්යක්ෂම, විනය ගරුක සහ තෘප්තියට පත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ මෙහෙවර වෙනුවෙන් පිහිටවනු ලැබූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ව්‍යුහය තුළ එක් සේවා නිලධාරී කාණ්ඩයකට අයත් නිලධාරීන් පමණක් නියෝජනය වීම මෙම කොමිෂන් සභාවේ සාධාරණ සහ අපක්ෂපාති ක්‍රියාදාමයට බාධා විය හැකි බව කෝපා කමිටුවේ අදහස විය.
එබැවින් මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීමට කෝපා කමිටුව විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් හට නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
තවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප්‍රමාදයක් තිබෙන බව කෝපා කමිටුවේදී අනාවරණය විය. මෙහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් පවසා සිටියේ පැමිණිලි ලැබුන පසු ඒ පිළිබඳව විමර්ශන කටයුතු කිරීමේදී, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ පත්වීම් බලධාරියා අමාත්‍යවරයා වන බැවින්ද, අමාත්‍යංශ ලේකම්වරුගේ පත්වීම් බලධාරියා වන්නේ ගරු ජනාධිපතිතුමන් වන බැවින්ද ඔවුන්ගෙන් පැහැදිලි කිරීම සඳහා කැඳවීම් කිරීමට කොමිෂන් සභාවට බලයක් නොමැති බවයි.
පැමිණිල්ලක් ලැබුන පසු ඒ පිළිබඳව කටයුතු කොට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත නොහැකි නම් එවන් කොමිෂන් සභාවක ක්‍රියාත්මක වන ක්‍රමවේදයේ ගැටලු පවත්නා බවත් එම ගැටලු හඳුනාගෙන එයට අවශ්‍ය පිළියම් යෙදීමට කටයුතු යොදන ලෙසට කෝපා කමිටුව මෙහිදී පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදී.
රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවට, හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, රාජ්‍ය අමාත්‍යවරයන් වන ගරු (ආචාර්ය) සුරේන් රාඝවන්, ගරු ඩයනා ගමගේ, ගරු චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ ගරු සාරතී දුෂ්මන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.