මෙරට රක්ෂණ කර්මාන්තය සාධනීය මාවතකට ගැනීමට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා තීරණය කෙරිණි.
එම ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණි වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජන. 11 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශය ලබාදීම සිදුවිය. මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහබැංකුව, රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ජාතික රක්ෂණ භාර අරමුදල යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට කැඳවා තිබිණි.
මෙම නව කමිටුවට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන ද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සියලු ආයතන නියෝජනය වන පරිදි සාමාජිකයන් පත්කිරීමට ද මෙහිදී තීරණය විය.
මූල්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා මෙරට රක්ෂණ ක්ෂේත්‍රය එක් තැනක සිරවී ඇති බවත් එය වඩාත් සාධනීය ලෙස ප්‍රසාරණය විය යුතු බවත් කාරක සභා සභාපති ගරු ගාමිණි වලේබොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ලොව බොහෝ රටවල මෙන් ජනතාව ආකර්ෂණය කර ගනිමින් ජනතාවට සහ රටේ ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙන පරිදි වඩාත් ආකර්ෂණීය ව්‍යාපාරයක් ලෙස මෙරට රක්ෂණ ක්ෂේත්‍රය වෙනස්විය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් සහ සාධනීය පියවර පිළිබඳ නිශ්චිත සැලැස්මක් රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශවවල එකඟත්වයෙන් සකස්විය යුතු බවත්, එහි මූලික ක්‍රියාමාර්ග ගැනීම මෙම කාරක සභා රැස්වීමේ මූලික අරමුණ බවත් වලේබොඩ මහතා පෙන්වා දුන්නේය.
ජනතාවට රක්ෂණ හිමිකම් ගෙවීමේදී මුහුණදීමට සිදුවන පීඩා සහ අසාධාරණකම් නැවැත්වීමට රක්ෂණ සමාගම් නියාමනය වඩාත් ශක්තිමත් විය යුතු බවද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. රක්ෂණ ගාස්තු නියම කිරීමේදී මෙන්ම ප්‍රතිලාභ ලබාදීමේදී විශාල අසාධාරණකම් රැසක් වාර්තා වී ඇති බවද මෙහිදී සාකච්ඡා විය. කොවිඩ් කාලය තුළ වාහන රක්ෂණාවරණ සහා රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම 80%කින් පමණ අඩුවූ බවත්, ඒ අනුව එම කාල තුළ සමාගම් විශාල ලාභයක් උපයා ඇති බවත් මෙහිදී කාරක සභාපතිවරයා පැවසීය. මේ අනුව ජනතාවට ලැබෙන ප්‍රතිලාභ වැඩි කිරීමටත්, මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ අඩුලුහුඩුකම් නිවැරදි කිරීමටත් කඩිනම් පියවර ගතයුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.
රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සහ නීතිවල ස්ථාවරත්වය ඇතුළු සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී රක්ෂණ ක්ෂේත්‍රයේ නියෝජිතයෝ කරුණු පැහැදිළි කළහ. මේ අනුව මේ සියලු කරුණු සළකා බලා පත්කරන ලද කමිටු යෝජනා අනුව ඉදිරියේදී රක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය සහ ජනතාවගේ ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් ගතයුතු නෛතික සංශෝධන ඇතුළු පියවර සදහා ආංශීක අධීක්ෂණ කාරක සභාව ඉදිරියේදී පෙනී සිටින බවද වලේබොඩ මහතා සහතික විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නිමල් ලන්සා, ගරු වසන්ත යාපා බණ්ඩාර, ගරු නිමල් පියතිස්ස, ගරු නාලක කෝට්ටේගොඩ, ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු එච්.එම්. ධර්මසේන සහ ගරු මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.