මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

දිනය : 2024-01-17

Print

මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි.

ඒ අනුව මාලදිවයිනේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් ලෙස පී. ආර්. එස්. ගුණවර්ධන මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එසේම රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශයේ ලේකම් ලෙස ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එයට අමතරව ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස එස්.සී.ජේ. දේවේන්ද්‍ර  මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

තවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු මහතාගේ පත්වීමට ද, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස ජේ.එම්. සූසෙයිදාසන් මහතාගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 10) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ සඳහා අමාත්‍යවරුන් වන ගරු නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙලිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු තලතා අතුකෝරල, ගරු උදය ගම්මන්පිල, ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.