ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භෝග සඳහා පොහොර යෙදීමේ වැඩසටහනට අදාළ ගැටලු විසදීම සම්බන්ධයෙන් ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

දිනය : 2023-12-20

Print
  • කෘෂි ව්‍යාප්ති සේවා ශක්තිමත් කිරීම පිළිබඳ කමිටුවේ අවධානය
  • කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශ මුදල් ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් කමිටුවේ අවධානය

 

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භෝග සඳහා පොහොර යෙදීමේ වැඩසටහනට අදාළ ගැටලු විසදීම සම්බන්ධයෙන් ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ පිළිබද සාකච්ඡා කෙරුණේ ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩී. වීරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

‌මෙහිදී මහනුවර ජාතික මූලික අධ්‍යාපන ආයතනයේ ක්ෂුද්‍ර ජීව ජෛව තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ මහාචාර්ය ගාමිනී සෙනෙවිරත්න මහතා ඇතුළු කිහිපදෙනෙක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භෝග සඳහා පොහොර යෙදීම සම්බන්ධයෙන් පැහැදිලි කරන ලදී. එසේම මෙම පැහැදිලි කිරීම් මගින් ජෛව පොහොර සහ කාබනික පොහොර භාවිතය මගින ක්ෂුද්‍ර ජීවී වැස්ම පසෙහි පවත්වාගෙන යා යුතු ආකාරය පැහැදිලි කරන ලදී. ඒ මගින් රෝග අවම කර ගැනීමේ හැකියාවත් පෝෂණය සම්බන්ධයෙන් ඇති වන ගුණාත්මක භාවය සම්බන්ධයෙන්ද පැහැදිලි කරන ලදී.

තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන පාංශු පර්යේෂණ මධ්‍යස්ථාන 32ක් මෙරට පවතින බවත් මේවායේ පස් ඉක්මනින් පරීක්ෂා කිරීමට නියැදි පරීක්ෂා කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමේ අවශ්‍යතාවයද කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

එසේම ප්‍රාදේශීය වශයෙන් පවතින පසෙහි වෙනස්කම් හදුනාගෙන ඒ ඒ ප්‍රදේශ වල කෘෂිකාර්මික කටයුතු සඳහා විවිධ පොහොර නිකුත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේ දැනටමත් ප්‍රාදේශීය වශයෙන් මෙම දැනුවත් කිරීමේ කටයුතු සිදුකරන බවයි. එසේම තාක්ෂණික වශයෙන් දියුණු කළ පොහොර ඒ ඒ ප්‍රදේශ සඳහා ගැළපෙන ආකාරයෙන් හඳුන්වාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

තවද කෘෂි ව්‍යාප්ති සේවා ශක්තිමත් කිරීම පිළිබඳ කමිටුවේ අවධානය යොමු වූ අතර පළාත් හා අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරීන් හරහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පර්යේෂණ වල ප්‍රගතිය හා නූතන තාක්ෂණය පළාත් ගොවීන් අතර ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණි.

මීට අමතරව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශ මුදල් ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමු විය.

IFAD සංවිධානය විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ණය ආධාර යටතේ ක්‍රියාවට නැංවෙන කුඩා පරිමාණ කෘෂි-ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ (SAPP ව්‍යාපෘතියේ) සිදු වූ අක්‍රමිකතා හා වංචා පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර මේ පිළිබඳ පූර්ණ විමර්ෂණයක් සිදු කර වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙන ලදී.

මේ අවස්ථාව සඳහා කාරක සභා සභාපතිවරයාගේ ආරාධනය මත අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාද, සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චමල් රාජපක්ෂ, ගරු කින්ස් නෙල්සන් යන මහත්වරුන්ද, සභාපතිවරයාගේ අවසරය මත ගරු සමන්ප්‍රිය හේරත් සහ ගරු (මේජර්) සුදර්ශන දෙණිපිටිය යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

තවද කෘෂිකර්ම අමාත්‍යාංශය, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, විගණකාධිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, පොහොර සංවිධානවල නියෝජිතයින්, ජාතික මූලික අධ්‍යයන ආයතනය යන ආයතනවල නිලධාරීන් හා ආංශික අධීක්ෂණ කාරකසභාවලට පත් කරන ලද තරුණ නියෝජිතයින්ද මේ සඳහා සහභාගී වූහ.

 

1 2