කුඩා දරුවන් සිටින මව්වරුන් රැකියා සඳහා විදෙස්ගත වීම මගින් සිදුවන සමාජීය බලපෑම ඉහළයි - ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා වේ |
දිනය : | 2023-12-18 |
|
ශ්‍රී ලංකාවේ රැකියාවේ නියුතු කාන්තාවන්ගේ වයස අවුරුදු 0-5 දක්වා කරන ලද දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධව පවතින ගැටළු සහ නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සළකා බැලීම කාරක සභාවේදී සිදු විය. මෙම වාර්තාව ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සම්පාදිතය. වයස අවුරුදු 0-5 අතර දරුවන් මවගේ රැකවරණයෙන් තොරව හැදෙන වැඩෙන වපසරියක් තුළ ඉන් දරුවාට ඇතිවන බලපෑම ඉදිරි වසර 20-25 තුළ සමාජීය වශයෙන් විශාල බලපෑමක් ඇති කරන බවත් ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.
ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තලතා අතුකෝරල මහත්මියගේ සභාපතීත්වයෙන් 2023.12.08 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.
අමාත්‍යංශ චක්‍රලේක අංක 02/2023 අනුව වයස අවුරුදු 02 සහ ඊට වැඩි දරුවන් සිටින මව්වරුන් සඳහා විදේශගත වීමට අවසර ලබා දී ඇති අතර එමගින් දරුවාට මව්කිරි ලබාගැනීමට ඇති හැකියාව අහිමි වන අතරම මව හා දරුවා අතර ඇතිවන බැඳීම සහ සෙනෙහස ද අහිමි වන බව කමිටුව විසින් අවධාරණය කරන ලදී.
තවද, කුඩා කල සිටම මව අහිමි වීම අනාගතයේදී ඉතාමත් කලහකාරී පරපුරක් බිහිවනු කරනු ඇති බවත්, මව විදෙස්ගත වීම හේතුවෙන් කුඩා කළ සිට දරුවන්ට රැකවරණය අහිමි වන බැවින් එම දරුවන් අනාගතයේ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වීමේ ප්‍රවණතාවයක් පවතින බවත් වෙනත් කෙනෙකුගේ රැකවරණය යටතේ සිටින බැවින් අසල්වසියගෙන් පමණක් නොව, පියා, සීයා වැනි සමීපතම ඥාතීන්ගෙන් පවා අතවරයට පත්විය හැකි බව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මුල් ළමාවියේ පසුවන දරුවන්ට ආරක්‍ෂිත හා විධිමත්ම නිර්දේශ මත ක්‍රියාත්මක වන දිවාසුරැකුම් මධ්‍යස්ථාන වල දැඩි අවශ්‍යතාවයක් පවත්නා බවත් ඊට යම් පිළියමක් යෙදිය යුතු බවත් මෙහිදී අවධාරණය කරන ලදී. දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය සහ අධීක්ෂණය සඳහා නිශ්චිත ආයතනයක් නොමැති වීම වීම සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නිසි පරිදි ලියාපදිංචි නොවීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධ දත්ත ඉතා අඩුපාඩු සහිත වීම ගැටළු සහගත බව මෙහිදී තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය.
ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් සම්පාදනය කර ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් විධිවිධාන වලට අනුගත වී ඒ අනුව ක්‍රියාත්මක වීම තුළින් ඉහත ගැටළු මග හරවා ගත හැකි බව කාරක සභාවේ අදහස විය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල ප්‍රමිතිය නියාමනය කිරීමට මෙන්ම අවුරුදු 05 ට අඩු දරුවන් සහිත මව්වරුන් විදේශගත වීම වළක්වමින් පනවා තිබූ නීතිය නැවත බලාත්මක කිරීමට කටයුතු යෙදීම ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිර්දේශ විය.
මෙම අවස්ථාව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු ඩලස් අලහප්පෙරුම, ගරු ඩී. වීරසිංහ, ගරු මංජුලා දිසානායක, සහ සමාජික නොවන පාර්ලිමේන්තු ගරු ජේ. සී. අලවතුවල එක්විය.
තවද, මෙම රැස්වීම සඳහා කාන්තා, ළමා කටයුතු ශා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, පරිවාස දෙපාර්තමේන්තුව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන් ද ආංශික අධීක්ෂණ කාරක සභාවට පත් කරන ලද තරුණ නියෝජිත පිරිසක් ද සහභාගී වුහ.