එක් බදු අභියාචනාවක් විභාග කිරීම සඳහා වසර 6කට අධික කාලයක් නිකරුනේ ගතවනවා - ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළිවෙයි

දිනය : 2023-12-10

Print

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත සංශෝධනයේදී ඇතුළත් වියයුතු කරුණ සම්බන්ධයෙන් බදු අභියාචනා කොමිෂන් සභාවේ අදහස් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් ජාතික ආර්ථික හා භෙෳතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2023.12.05 වන දින පාර්ලිමේන්තුවේදී රැස්විය.

දේශීය ආදායම්  දෙපාර්තමේන්තු‍ව තුළ බදු අභියාචනා ලිපි ග‍ොනුවක් මාස 40කට අධික කාලයක් පවතින බවත් අනතුරුව එම බදු අභියාචනාව, බදු අභියාචනා කොමිෂන් සභාවට යොමුකළ පසු වසර දෙකක් වැනි කාලයක් පරීක්ෂා කිරීම සිදුවන බව කාරක සභාවේදී අනාවරණය විය. කොමිෂන් සභාවෙන් පසු එම අභියාචනාව, අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන අතර අදාළ බදු අභියචානාව සම්බන්ධයෙන් තීරණයක් ලැබීමට එහිදී අවම වශයෙන් වසරක කාලයක්වත් ගත වන බව කොමිෂන් සභා නිලධාරීහු කරුණු දක්වමින් පෙන්වා කාරක සභාවට පෙන්වා දුන්හ.

කෙසේ වෙතත් දේශීය අදායම් දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කර බලා, කොමිෂන් සභාව වෙත යොමු කරන බදු අභියාචනා, එම කොමිසම තුළ පරික්ෂා කිරීමේදී 95% පමණ දේශීය අදායම් දෙපාර්තමේන්තුව  නිගමන සමග සැසඳෙන බව කාරක සභාවේදී හෙළිවූ අතර ඒ හේතුවෙන්  බදු අභියාචනා පරික්ෂා කිරීම සඳහා පවතින කාල වකවානු  සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාවය කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

මෙලෙස අදාළ පුද්ගලයින්ට හිඟ බදු ගෙවීම මග හරිමින් අභියාචනා යොමු කිරීමට පවතින විශාල කාල පරාසය සංශෝදනය කරමින් එක් අභියාචනාවක් උපරිම වසර දෙකක් වැනි කාලයක් තුළ අවසන් කිරීමට යෝජනාකරන බව  සභාපතිවරයා පැවසුවේය. බදු ගෙවීම් හිතා මතා පැහැර හරිමින්  කටයුතු කරන පිරිස හඳුනාගෙන ඔවුන්ගෙන් එම බදු මුදල් ලබගන්නෙම් VAT, උපයනවිට බදු ආදී  ගෙවීම් තුළින් පීඩාවට පත්වී සිටින සාමාන්‍ය මහජනතාවට යම් සැනසීමක්  ලබාගත හැකි බව කාරක සභා සාමාජිකයින් කරුණු දක්වමින් පවසන ලදී.

තවද බදු අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා අධිකරණ පද්ධතිය තුළ විශේෂ අංශයක් ඇතිකිරීමේ වැදගත්කමද  බදු අභියාචනා කොමිෂන් සභා නිලධාරීහු මෙහිදී සිහිපත් කළහ.

ඒ අනුව මාස 6 වැනි කාලයක් තුළ දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ පනත සංශෝධනය කිරීම තුළින් මෙරට බදු අයකර ගැනීමේ  ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරගැනීම වෙනුවෙන් අදාළ සියලු අංශ වඩාත් කැපවීමෙන් කටයුතු කරන බව සභාපතිවරයා සිහිපත්  කළේය.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී  ගරු අශෝක අබේසිංහ, ගරු සුදත් මංජුල, ගරු  ගුණතිලක රාජපක්ෂ  යන  මහත්වරුන් ඇතුළු  රාජ්‍ය  නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

 

4 5