ශ්‍රී ලංකා විදේශ සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීම් ක්‍රියාවලිය සිදු කිරීමේ දී ප්‍රයෝගික නිපුණතා සහිත අපේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය වැටුප් පරිමාවන් (Salary Scales) සකස් කළ යුතු බවත් එම බඳවා ගැනීම් කිරීමේ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කළයුතු බවත් ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් යෝජනා ඉදිරිපත් කරන ලදී.
විදේශ සේවයට බඳවා ගැනීම් විභාගයෙන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ශාස්ත්‍රීය සුදුසුකම් මත අපේක්ෂකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබුව ද, රටේ සහ සේවයේ අවශ්‍යතාවයට සරිලන ප්‍රයෝගික දැනුම, නිපුණතා සහ පෞරුෂය සම්මුඛ පරීක්ෂණ වලදී පිළිබිඹු නොවන බව මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පැවසීය.
මේ පිළිබඳ සාකච්ඡා වුයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතීඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (දෙසැ. 05) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.
ඒ අනුව, තවදුරටත් කරුණු දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටියේ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් මෙම බඳවා ගැනීම් විභාගය සහ ශාස්ත්‍රීය සුදුසුකම් මත පදනම් වන බැවින් සේවයේ අවශ්‍යතාවයට සරිලන ප්‍රයෝගික දැනුම, නිපුණතා සහ පෞරුෂය නොමැති වුව ද අයදුම්කරුවන් ලබා ගන්න ලකුණු ප්‍රමාණය මත සේවයට ඇතුළත් වන බවයි.
ශ්‍රී ලාංකික ඩයස්පෝරාව පිළිබඳ සෘණාත්මක කෝණයකින් බැලීමට අප හුරු වී තිබෙන බවත්, එය වෙනස් විය යුතු බවත් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා විය.
වෙනත් රටවල සංක්‍රමණික ජනතාව දෙස එම රටවල් ධනාත්මකව බලන බවත්, එරට විදේශ කටයුතු අමාත්‍යාංශ ඒ වෙනුවෙන් කටයුතු කරන බවත්, වර්තමානයේ එම ප්‍රජාව තමන් සංක්‍රමණය වූ රාජ්‍යන් හී ඉහළ තනතුරු දරණ මට්ටමට පත්ව ඇති බවත් ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.
ඒ අනුව, මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිබඳව අවධානය යොමු කල යුතු බව ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.
තවද, විදේශ තානාපති කාර්යාලයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සලසා ගැනීමේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ සහ සංකීර්ණ ක්‍රියාවලියක් බවත්, එම තත්ත්වය අවම කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියට කාලීන අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට ද ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී යෝජනා විය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතීඥ නාමල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් සීමාවාසික වැඩසටහන පිළිබඳව ද විමසා සිටි අතර සීමාවාසිකව පුහුණුව ලබන කණ්ඩායම් හට පැවරෙන වගකීම්, කාර්යභාරය සහ ඔවුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ගෙනයන වැඩපිළිවෙල පිලිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසට ද උපදෙස් දුන්නේ ය.
කාරක සභා සාමාජිකයන් වන ගරු නිරෝෂන් පෙරේරා මහතා සහ ගරු මධුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.
කාරක සභවේ තරුණ නියෝජිතයන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වී සිටි අතර සභාපතිවරයාගේ අවසරය මත සිය අදහස් කාරක සභාව හමුවේ ඉදිරිපත් කරන ලදී.