මරණයට පත්වන වන අලි ගහනය බේරා ගැනීම සඳහා වනජීවී පරිපාලනයේ නෛතික වෙනසක් ඇති කීරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය |
දිනය : | 2023-12-01 |
|
ලොව ඉහළ අලි මරණ සිදුවන රටක් ලෙසට ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් හට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව හෙළි වී ඇතැයි පරිසර ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට යොමු වූ අතර මරණයට පත්වන වන අලි ගහනය බේරා ගැනීම සඳහා වනජීවී පරිපාලනයේ නෛතික වෙනසකම් ඇති කළ යුතු බව කමිටුවේදී සාකච්ඡාවට ලක් කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.11.24 වන දින පාර්ලිමේන්තුවේ දී මෙම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ඒ අනුව ප්‍රධාන වශයෙන් දැනට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත තුළ සංශෝධනය සිදු කළ යුතු වගන්ති පිළිබඳ පූර්ව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පරිසර නීති කම්ටුවේ කැඳවුම්කරු වන චාරක ජයරත්න මහතා ඇතුළු කමිටුවක් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවන් ඔස්සේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවසිදු කරන ලදී.
මෙහිදී පනතේ වන අලි සම්බන්ධව පවතින ප්‍රධාන වගන්ති කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ අතර එහිදී 3 වන වගන්තිය, 6 වන වගන්තිය, 19 වන වගන්තිය, 20 වගන්තිය හා 30 වගන්තීන් සංශෝධනය පිළිබඳ සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවේදී මෙම වගන්තිය අන්තර්ගතව පවතින වන සතුන් මරණයට පත්කිරීම සම්බන්ධව ක්‍රියාත්මක වන දණ්ඩනය ගාස්තු සංශෝධනය කළ යුතු බවට යෝජනා වු අතර වන අලි ඇතුන් පොදු දේපලක් ලෙස බලගන්වා ඒ ඔස්සේ අදාළ වරදකරුවන්ට නිසි දඬුවම් පැනවීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමට යෝජනා ඉදිරිපත් විය.
එසේම මෙරට වන අලි දැඩිව මරණයට පත්වන එක් අවස්ථාවක් ලෙස නීති විරෝධී අධිබලැති විදුලි රැහැන් ඇටවීම පිළිබඳ පූර්ණ අවධානය යොමු වූ අතර මේ සම්බන්ධව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතේ පැහැදිලි අර්ථකථනයක් නොමැති හෙයින් ඒ සම්බන්ධව පැහැදිලි අර්ථකථනයක් ඇතුළත් කොට අදාළ දඩුවම්ද ඇතුලත් කරමින් නව වගන්ති හඳුන්වාදීම කාරක සභාවේ දී සාකච්ඡා කරන ලදී.
ඒ අනුව කාරක සභාවේ දී සාකච්ඡාවට බඳුන් කළ පනත සංශෝධනය සම්බන්ධව පවතින යෝජනා නැවත වාර්තාගත කොට වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කළ කමිටුවක් හරහා ද අදාළ නිර්දේශයන් සම්බන්ධව එකඟතාවයකට එළඹ නිශ්චිත කාල රාමුවක් යටතේ පනත සංශෝධනය අවසන් කිරීමට කාරක සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට කාරක සභා මන්ත්‍රීවරුන් වන ගරු ජයන්ත සමරවීර මහතා, ගරු ජයන්ත කැටගොඩ මහතා සහ ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ද සහභාගි විය. එසේම වනජීවි දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීහු හා අලි ඇතුන් සම්බන්ධව ක්‍රියාකරන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වූහ.