මධ්‍යම සංස්කෘතික අරමුදලේ, මුදල් නිශ්චිතව භාවිතා කළයුතු ආකාරය ගැන රෙගුලාසි පනවමින් පනත සංශෝධනය කරන්න - ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව |
දිනය : | 2023-11-30 |
|
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පවතින මුදල්, අයතා කටයුතුවලට භාවිතා කිරීමට නොහැකි වන ලෙසටත්, එම මුදල් නිශ්චිතව භාවිතා කළයුතු ආකාරය ගැනත් රෙගුලාසි පනවමින් මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝදනය කිරීමට ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ හිමි විය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.27 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
වසර දෙකකට පෙර ණය බරින් පෙළුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඩොලර් උත්පාදනය අද වන විට 614 % කින් වර්ධනය කරගත හැකි වී තිබෙන බව එම අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසීය. වර්තමානය වන විට සීගිරියේ ඉර උදාවේ සුන්දරත්වය විදේශිකයින්ට නැරඹීමට අවස්ථාව සලසාදීමෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් තුන්දහසකට අධික අදායමක් ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේය. තදුරටත් සීගිරිය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ලබාගත හැකි අංශ හඳුනාගනිමින් පවතින බවත් එම කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට KOICA ආයතනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8 ක ආධාරයක් ලබාදීමට මුලික එකඟතාව හිමිවූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
සංචාරක කලාපවල අවිධිමත් ලෙස සංචාරකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන සමහර ත්‍රී රෝද රථ රියදුරන් අධික මිල ගණන් අයකරන බව මෙහිදී අනාරණය විය. ඒ අනුව එම ප්‍රදේශවල පවතින ත්‍රී රෝද රථ සඳහා මීටර සවිකිරීම අනිවාර්ය කළයුතු බව නිලධාරීහු කරක සභාවට අවධාරණය කර සිටියහ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනීමත් දැනට රාජකාරි කටයුතු කරන 286 ක් වූ ස්ථිර නොමැති සේවකයින් ස්ථිර කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස නිලධාරීහු කාරක සභාවෙන් ඉල්ලීමක් කළහ. අනුව ඒ සඳහා කාරක සභාව ඔවුන්ගේ පවතින රාමුව තුළ මැදිහත්වීමට එකඟ විය.
මේ අතර මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද කාරක සභව හමුවේ මෙදින පෙනී සිටියහ. එහිදී එම දෙපාර්තමේන්තුවේ ආදායම් උත්පාදනය වර්ධනය කරගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේය. ඒ අනුව මේ වනවිට තමන් සතුව පවතින ඉඩම් හා දේපොළ ඵලදායී ලෙස භාවිතා කර ආදායම් උත්පාදනය සඳහා කටයුතු කරමින් පවතින බව නිලධාරීහු පැවසූහ. එමෙන්ම මහාභාරකාර දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවද නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි, ගරු එම්. රාමේෂ්වරන්, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ගරු ඉසුරු දොන්ගොඩ, ගරු කුමාරසිරි රත්නායක යන මහත්වරුන් මෙන්ම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.