ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරනවා - ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පවසයි

දිනය : 2023-11-28

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී අනාවරණය විය. ඒ එම කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.23 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2015 සිට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්කරමින් මෙම නාලිකා දිවිත්වය අලාභ ලබා ඇති ආකාරය සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277ක්ද  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වන විට රුපියල් මිලියන 457ක් අලාභ ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීමට අපහසු බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කිරීමට සැළසුම්කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවද සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍ය මගින් ප්‍රමාණවත්  ප්‍රචාරණයක් ලබා නොදෙන බව කාරක සභාව තුළ අදහස් පලවිය. සංවර්ධනයට ලක්විය යුතු ගොඩනැගිලි, මාර්ග, පාලම් ආදී විවිධ දෑ හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍ය මගින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු මහජනතාවට ලැබී ඇති පහසුකම් පිළිබඳවද රාජ්‍ය මාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කළයුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී සමාජ සංස්කෘතියට, පුද්ගල සෞඛ්‍යට හානිවන අයුරින් මාධ්‍ය මගින් සිදු කරන ප්‍රචාරණ කටයුතු  නියාමනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමර්ග පිළිබඳ වාර්තාවක් සකසා කාරක සභවට ලබා දෙන ලෙස සභාපතිවරයා විසින්  ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ලදී.

මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ශාන්ත බණ්ඩාර, ගරු ජානක වක්කුඹුර, ගරු ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු වේලුකුමාර්, ගරු (මහාචාර්ය) චරිත හේරත්, ගරු සංජීව එදිරිමාන්න, ගරු ගුණතිලක රාජපක්ෂ, ගරු සුදත් මංජුල යන මහත්වරුන් ඇතුලු රාඡ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

 

7 9

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි