ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඇතැම් රාජ්‍ය ආයතන වල සිදුවන දුෂණ අක්‍රමිකතා සොයා බැලීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සුපිලිපන්න නිලධාරියෙකු පත් කිරීම පිළිබඳ විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

දිනය : 2023-11-24

  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීමට කටයුතු  කළ යුතුයි  -  ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිර්දේශයක්

 

ඇතැම් රාජ්‍ය ආයතන වල පවතින  දූෂණ අක්‍රමිකතා සොයා බැලීම  සඳහා ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  දීර්ඝ ලෙස සාකච්ජා විය.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සුපිරිපන්න නිලධාරියෙකු පත් කිරීම ඔස්සේ රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමික තා මැඩලීමේ  අවශ්‍යතාවය  කාරක සභාව විසින් දැඩිව  අවධාරණය කරන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් 2023.11.17 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙදින කාරක සභාව හමුවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු කැඳවා තිබුනහ.

මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා දක්ෂ  නිලධාරීන් බඳවා ගැනීමට නොහැකි වී ඇති බව එම කොමිසමේ නිලධාරීහු කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුහ. අදාළ තනතුරු සඳහා ප්‍රමාණවත් වැටුප් නොලැබීම හේතු කොටගෙන මෙලස දක්ෂ නිලධාරීන් බඳවා ගැනීමට නොහැකි වී ඇති බවද වැඩි දුරටත් අදහස් දක්වමින් එම නිලධාරීහු   ප්‍රකාශ කළහ. නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් තල සමග ගලපමින් අල්ලස් හෝ දුෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා වැටුප් ලබා දීමට කටයුතු කරන ලෙසට එම කොමිසමේ නිලධාරීහු  කාරක සභාවෙන්  ඉල්ලීමක් කළහ.

ඒ අනුව කාර්යක්ෂම ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවය ලබා ගැනීමටනම් එම නිලධාරීන් නිවැරදි වැටුප් තල වල පිහිටුවා වැටුප් ලබා දියයුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එම වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කාරක සභාවේ නිර්දේශ අදාළ අංශ වෙත ලබා දීමට කටයුතු කරන බවද සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

නව පනත මගින් පෙරට වඩා වැඩි අංශ ගණනක වීමර්ශන කටයුතු සිදු කිරීමේ බලය තමන්ට ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා වීමර්ශන කොමිසමේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. ඒ මෙන්ම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන සියලුම පුද්ගලයින්ගෙන් එම ප්‍රකාශ  ලබාගැනීමේ අයිතිය තමන් සතු බවත් එම ක්‍රියාවලිය ඉලෙක්ට්‍රොනික ක්‍රම වේදයකට (electronic system )සිදු කළයුතු බවද එම නිලධාරීහු පෙන්වා දුන්හ. නමුත් අවශ්‍ය ඉලෙක්ට්‍රොනික පද්ධතියක් තාක්ෂණික උපකරණ ඒ සඳහා නොමැති වීම හේතුවෙන් එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවද එම නිලධාරීහු කරුණු දක්වමින් කාරක සභාවට පෙන්වා දුන්හ.

අල්ලස් හෝ දූෂණ අක්‍රමිකතා අවම කිරීම පිණිස  එම කොමිසම විසින්  සමාජය තුළ  සිදු කරනු ලබන දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කිරීමටත් එම දැනුවත් කිරීම් ප්‍රමාණයන් වැඩි කරන ලෙසත් සභාපතිවරයා විසින්  මෙහිදී  නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු වජිර අබේවර්ධන, ගරු ජේ. සී. අලවතුවල, ගරු චමින්ද වි‍ජේසිරි, ගරු (නීතිඥ) උදයන කිරිඳිගොඩ, ගරු ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ , කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතිඥ ) මධුර විතානගේ, ගරු ඉසුරු දොඩන්ගොඩ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි