ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගාලු උරුම පදනමේ අනාගත ඉලක්කයන් හා සැළසුම් කෙරෙහි මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

දිනය : 2023-11-24

  • PADI බලපත්‍රලාභී පුරාවිද්‍යා උපාධිධාරීන් 3 දෙනෙකු සංවර්ධන නිලධාරීන් ලෙස පාසල්වල ස්ථානගත කර ඇති බවට කමිටුවේදී අනාවරණය වෙයි
  • ගාල්ලේ සනීපාරක්‍ෂක තත්ත්වයන් කෙරෙහි කමිටුවේ අවධානය

 

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ගාලු උරුමය පදනමේ අනාගත ඉලක්කයන් හා සැළසුම් මොනවාද  යන්න පිළිබඳව විමසන ලදී.

ඒ, එම  කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වය යටතේ පසුගියදා (නොවැ. 22) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.

ඒ අනුව පුරාවස්තු ආඥාපනත මගින් ආවරණය නොවන උරුම,වත්කම් ආරක්ෂාව සඳහා ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බවයි ගාලු උරුමය පදනමේ සභාපති ආචාර්ය නිලාන් කුරේ මහතා සඳහඳු කළේය. තවද, ඓතිහාසික ගාලු වරාය තුළ ඇති නැව් සුන්බුන් පිළිබඳව දිය යට පුරාවිද්‍යා පර්යේෂණ සිදු කිරීම, පූර්ව යටත් විජිත සමයේ එම ස්ථානයේ ඉතිහාසය අවබෝධ කර ගැනීම සඳහා ස්තරගත පුරාවිද්‍යා පරීක්ෂණ පැවැත්වීම, උරුම ගොඩනැගිලි, ව්‍යුහයන් සහ වර්තමාන තත්ත්වය පෙන්නුම් කරන වීදි දර්ශන ඇතුළු අංග ලේඛනගත කිරීම ගාල්ල සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන ඉදිරි වැඩසටහනේ කොටසක් බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ තරුණ නියෝජිතයින් ප්‍රකාශ කළේ PADI බලපත්‍රලාභී පුරාවිද්‍යා උපාධිධාරීන් 3 දෙනෙකු සංවර්ධන නිලධාරීන් ලෙස පාසල්වල ස්ථානගත කර ඇති බවයි. එවැනි දක්‍ෂතාවන් සහිත උපාධිදාරීන් ඊට අදාළ වැඩකටයුතු සඳහා යොදා ගත හැකි නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව නියෝජිතයින් ප්‍රකාශ කළහ. එමෙන්ම, ගාල්ල ප්‍රදේශයේ  සනීපාරක්‍ෂක  පහසුකම්වල තත්ත්වය පිළිබඳව  සෑහීමකට පත් නොවන බව ද තරුණ නියෝජිතයන් කමිටුවේ අවධානයට යොමු කළහ.

තරුණ නියෝජිතයින්ගේ දායකත්වය ඇගයීමට ලක් කරමින් නිලධාරීන් ප්‍රකාශ කළේ එවැනි කරුණු පිළිබඳව විධිමත් ලෙස සොයා බලන බවයි.

2020 වසර සඳහා වන ගාලු උරුමය පදනමේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ද කමිටුව විසින් සැලකිල්ලට ගෙන එය අනුමත කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගරු. ගරු ජගත් සමරවික්‍රම ගරු ගයන්ත කරුණාතිලක, ගරු. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ජයන්ත කැටගොඩ මහතා මෙම රැස්වීමට සහභාගි විය.

 

5 7

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි