ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතුයි - ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා

දිනය : 2023-11-23

ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතු බව ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගත් තීරණයක් ලෙස ඉන්දියානු ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙසට නාවික හමුදාවේ අදාළ අංශ වෙත දෙන ලද දැනුම් දීම පිළිබඳ ‍කාරක සභාව මෙහිදි විමසා සිටියේය. එහිදි අදහස් දැක්වූ නාවික හමුදා නිලධාරීන් සඳහන් කළේ ලද උපදෙස් අනුව අත්අඩංගුවට ගැනීම් ප්‍රමාණය වැඩි කළ අතර මේ වන විට අනවසරයෙන් පැමිණෙන ඉන්දියානු ධීවර යාත්‍රා ප්‍රමාණය තරමක් අඩුවී ඇති බවයි.

මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම ගැටළුව විසඳීම නාවික හමුදාවට පමණක් සිදු කළ නොහැක්කක් බවයි. මේ පිළිබඳ මෙරට දේශපාලනඥයන් දකුණු ඉන්දිය දේශපාලනඥයන් සමග රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වීමෙන් ගැටළුව විසඳා ගත යුතු බවට අදහස් පළවූ අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ, ජාති හෝ ප්‍රාදේශීය භේදයකින් තොරව අදාළ ප්‍රදේශ නියෝජනය කරන සියළු මන්ත්‍රීවරයන් එක්ව කටයුතු කළ යුතු බවටද තීරණය විය.

නැගෙනහිර මුහුදේ මාළු දැල් කපා මසුන් රැගෙන යාම සම්බන්ධ ගැටළුව නිරාකරණය කිරීම සම්බන්ධවද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කාරක සභාවේදී පෙර දැනුම් දුන් පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මේ පිළිබඳ ගන්නා ලද ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ මේ සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් දිගටම සිදු කරන බවයි.

මෙරට මත්ස්‍ය අස්වැන්න සුලබව ලැබෙන කාලවලදී ලංකා ධීවර සංස්ථාව මගින් මාලු මිලදීගෙන ගබඩා කොට ජනතාවට සහන මිලට ලබාදිමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙස මන්ත්‍රීවරු මෙහිදී යෝජනා කළහ.

ඒ අතරම කල්මුණේ රේඩියෝ මධ්‍යස්ථානය නැවත ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. කල්මුණේ රේඩියෝ මධ්‍යස්ථානයට නව රේඩියෝ යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පෙර කාරක සභාවකදී ලබා දෙන ලද උපදෙස් ක්‍රියාත්මකවීම සම්බන්ධව සභාපතිවරයාගේ අවධානය යොමු විය. එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ එක් යන්ත්‍රයක් සවි කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරමෙින් පවතින බවයි. එමෙන්ම තවත් රේඩියෝ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග ලෙසද ලබන වසරේදී යන්ත්‍ර තුනක් ජපානයෙන්ද ලැබීමට නියමිත බවයි.

මෙම රැස්වීමට රාජ්‍ය ගරු අමාත්‍යවරුන් වන ගරු පියල් නිශාන්ත, ගරු කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චින්තක අමල් මායාදුන්නේ, ගරු චන්දිම වීරක්කොඩි, ගරු ෆයිසාල් කාසිම්, ගරු ඉසුරු දොඩංගොඩ, ගරු චාල්ස් නිර්මලනාදන්, ගරු ජගත් සමරවික්‍රම, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගරු ඩී. වීරසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි