ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සේවාදායකයා ආරක්ෂාවන ආකාරයෙන් නීති සංශෝධනය කිරීමට අවශ්‍ය රෙගුලාසි මාසයක් ඇතුළත සකසන්න - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් රක්ෂණ නියාමන කොමිෂන් සභාවට නිර්දේශ

දිනය : 2023-11-22

  • රක්ෂණ කර්මාන්තය විසින් ගෙවන සෘජු සහ වක්‍ර බදු ප්‍රමාණය වෙන වෙනම පෙන්වන්න
  • ප්‍රතිරක්ෂණය සඳහා භාවිතා කර ඇති විදේශීය රක්ෂණ සමාගම් පිළිබඳව නිසි අවධානයක් යොමු කරන්න
  • ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) වාර්ෂික වාර්තා මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස උපදෙස්

 

සේවාදායකයා ආරක්ෂාවන ආකාරයෙන් නීති සංශෝධනය කිරීමට අවශ්‍ය රෙගුලාසි මාසයක් ඇතුළත සකස් කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.

මේ පිළිබඳ නිර්දේශ කරන ලද්දේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 16) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ  ප්‍රාදේශී සංවර්ධන බැංකුව (RDB) නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබුණි.

මෙහිදී රක්ෂණ හිමියා ආරක්ෂා විය යුතු බවත් කර්මාන්තය ආරක්ෂා වීමට නම් රක්ෂණ හිමියා ආරක්ෂා විය යුතු බවත් මෙම කමිටුවේ සභාපති පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් මේ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගතයුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

තවද රක්ෂණ කර්මාන්තය විසින් සෘජුව සහ වක්‍රව ගෙවන බදු ප්‍රමාණය වෙන වෙනම කමිටුවට පෙන්වා දෙන ලෙස ද නිර්දේශ කළේය. එසේම ප්‍රතිරක්ෂණය සඳහා භාවිතා කර ඇති විදේශීය රක්ෂණ සමාගම් පිළිබඳව නිසි අවධානයක් යොමු කරන ලෙසද මෙහිදී කාරක සභාව නිර්දේශ කළේය.

එසේම ඉදිරි වසර පහ සඳහා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ පෙරදසුන යටතේ එන රක්ෂණ කමිටුව පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කිරීමට ද කමිටුව විසින් යෝජනා කරන ලදී.

මීට අමතරව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ද (RDB) මෙම කාරක සභාවට කැඳවා තිබූ අතර එම ආයතනයේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන ලදි. මේ අනුව 2020 සහ 2021 වර්ෂවල වාර්ෂික වාර්තා මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන ලෙස කමිටුව උපදෙස් ලබාදුන්නේ ය.

තවද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) මේ වන විට  පුරප්පාඩු වී පවතින සභාපති ධූරය පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කිරීමට ද මෙහිදී කමිටුව උපදෙස් ලබා දීම සිදු කළේය.

මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු (මේජර්) සුදර්ශන දෙණිපිටිය, ගරු චින්තක අමල් මායාදුන්නෙ, ගරු සමන්ප්‍රිය හේරත්, ගරු මංජුලා දිසානායක, ගරු ගයාශාන් නවනන්ද, ගරු රෝහිනී කවිරත්න, ගරු ජගත් සමරවික්‍රම, ගරු වඩිවේල් සුරේෂ් සහ ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

7 10

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි