ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මෙරට රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටුවක්

දිනය : 2023-11-21

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීම සඳහා  විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අනු කමිටුවක් පත් කොට තිබේ. මෙම පාර්ලිමේන්තු අනු කමිටුව නීතිඥ උදයන කිරිඳිගොඩ මහතාගේ සභාපතීත්වය යටතේ ජනාධිපති නීතිඥ ගරු ජයන්ත වීරසිංහ, ගරු ජේ. සී. අලවතුවල, ගරු මොහොමඩ් මුසාමිල්, ගරු චමින්ද විජේසිරි, ගරු සංජීව එදිරිමාන්න සහ ගරු ගුණතිලක රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වත් සාමාජිකයන් 14 දෙනෙක් ගෙන් සමන්විත වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍ය අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය ජානක ප්‍රනාන්දු, කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ අශෝක ඩයස්, පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි, සර්වෝදය ශමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, සහ ආංශික අධීක්ෂණ කාරකසභා සභාපතිවරයාගේ උපදේශක ආචාර්ය කේ.ඒ. තිලකරත්න යන මහත්ම මහත්මීහු මෙම විද්වත් කමිටුවේ සාමාජිකයන් වේ.

උක්ත අනුකමිටුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර විද්වත් අදහස් ලබා ගැනිම සඳහා පත් කරන ලද විද්වත් කමිටුව කාරක සභාව වෙත කැඳවා තිබිණි. ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීම පිළිබඳ මූලික අදහස් හා යෝජනා එහිදි ඉදිරිපත් කෙරිණි.

පසුගිය කාලය තුළ විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවන ලද විවිධ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා වන යෝජනා අනු කමිටු සභාපතිවරයා විසින් විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ යෝජනාද සැලකිල්ලට ගෙන අදාළ යෝජනාවලිය මේ වසර තුළදී සකස් කොට අවසන් කිරීමටද මෙහිදී විද්වත් කමිටුව එකඟතාවය පළ කළේය.

මෙරට රාජය සේවය පිළිබඳ මහජනතාව තුළ පවතින ආකල්ප පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. අකාර්යක්ෂමතාවය, නිසි වගකීමක් නොමැති වීම, දුෂණ වංචා, ඇගයීමේ නිසි ක්‍රියාවලියක් නොමැති වීම, මනා සම්බන්ධීකරණයක් නොමැතිවීම මෙන්ම දේශපාලන මැදිහත්වීම් කෙරෙහිද මෙහිදි අවධානය යොමු විය.

ඒ අනුව විවෘතභාවය, වගකීම, කාර්යක්ෂමතාවය සහ මිත්‍රශීලීභාවය යන කරුණු 04 ඔස්සේ මෙරට රාජ්‍ය සේවය වඩාත් මහජනතාවට සමීප කිරීම සඳහා මාරගෝපදේශ යෝජනාවලිය සකස් කිරීමට කමිටුව එකඟ විය. එමෙන්ම  අදාල යෝජනා ක්‍රියාත්මක වීම නියාමනය කිරීමේ අවශ්‍යතාවයද කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

මෙම රැස්වීමට විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාද එක්ව සිටියේය.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි