ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මහජනතාව ගෙවනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) රජයට නිසියාකාරව ලැබෙනවා ද යන්න තහවුරු කරගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න - ‘කෝපා’ කමිටුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස්

දිනය : 2023-11-18

  • RAMIS පරිගණක පද්ධතිය තවමත් භාර ගත නොහැකි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කෝපා කමිටුවට දන්වයි
  • RAMIS පරිගණක පද්ධතියට සම්බන්ධ වීමට වහාම තමන්ගේ පරිගණක පද්ධතියේ අදාළ යාවත් කාලීන කිරීම් සිදුකරන්න - කෝපා කමිටුවෙන් සමාගම් රෙජිස්ට්‍රා දෙපාර්තමේන්තුවට උපදෙස්
  • 2023 වසරේ මේ වනතෙක් නව බදු ගෙවන්නන් එක් ලක්ෂ අනූ අටදහසකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කළා - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි

 

විවිධ භාණ්ඩ සඳහා මහජනතාව විසින් ගෙවනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) රජයට නිසියාකාරව ලැබෙනවා ද යන්න රජයේ ගිණුම් පිළිබඳ  කාරක සභාවේදී (කෝපා කමිටුව) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කෙරිණි.

වර්තමානය වනවිට එකතු කළ අගය මත බද්ද (VAT) සඳහා ආයතන දහතුන් දහසක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම ආයතන මගින් අදාළ බද්ද රජයට ගෙවීම පිළිබඳව විමර්ශන කරන බව ඊට පිළිතුරු ලබාදෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී පැවසුහ. මහජනතාවගෙන් VAT අය කරන ආයතන එම බදු නිවැරදිවම රජයට  ලැබෙන  ක්‍රමවේදයක් සකස් කලයුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී.

මේ පිළිබඳ සාකච්ජා කෙරුණේ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2019,2020, හා 2021 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පරීකෂාව සඳහා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන්  2023.11.15 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

RAMIS පරිගණක පද්ධතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටම භාර ගෙන පවත්වාගෙන යාමේ හැකියාවක් පවතිනවාද යන්න සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත්  තවමත් අදාළ මානව සම්පත නිසියාකාරව නොලැබීම මත එම පද්ධතිය භාර ගෙන පවත්වාගෙන යාමට නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු  නිලධාරීහු  කාරක සභාවට දැන්වූහ.

RAMIS පරිගණක පද්ධතියට සම්බන්ධ වෙමින් ආයතන 6ක් කටයුතු කරන අතර සමාගම් රෙජිස්ට්‍රා දෙපාර්තමේන්තුව යම් තාක්ෂණික හේතුවක් මත තවමත් RAMIS පද්ධතිය හා සම්බන්ධවීමට ප්‍රමාද වී ඇති බව කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව වහාම තමන්ගේ පද්ධතියේ අදාළ යාවත්කාලීන කිරීම් සිදුකරමින් RAMIS පද්ධතිය හා සම්බන්ධවීමට කටයුතු  කරන ලෙස කාරක සභාව  සමාගම් රෙජිස්ට්‍රා දෙපාර්තමේන්තුවට නිර්දේශ කරන ලදී. එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබන ජනවාරි මස පළමු වැනිදාට පෙර  කාරක සභාවට  යොමු කරන ලෙසද උපදෙස් ලබා දෙන ලදී.

වර්තමානය වනවිට වර්ගීකරණයන් කිහිපයක් ඔස්සේ අය කරන බදු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මෙන්ම අයකර ගැනීමට තිබෙන රුපියල් බිලියන 943 වූ හිඟ බදු මුදල් පිළිබඳවද සම්පූර්ණ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසටද සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.

නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව  2023 වසරේ මේ වනතෙක් නව බදු ගෙවන්නන් එක් ලක්ෂ අනූ අටදහස් දෙසිය පනස් තුනක් පමණ ලියාපදිංචි කර ඇති බව නිලධාරීහු පැවසූහ. වයස 18ට වැඩි  පුරවැසියන්  මිලියන 16ක් පමණ  සිටින බව හඳුනාගෙන ඇති බවත් ඔවුන් බදු ගෙවීමේ ක්‍රියාවලියට  ඇතුලත් කර ගැනීම සඳහා විශේෂ වැඩසටහන්  ක්‍රියාත්මක කරන බවද  දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.

මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු (නීතිඥ) මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගරු ප්‍රසන්න රණවීර, ගරු චාමර සම්පත් දසනායක, ගරු ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක, ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා, ගරු අශෝක් අබේසිංහ, ගරු මංජුලා දිසානායක, ගරු වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි